අගමැති ධුරය, අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වමින් පැනවූ තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලය අභියාචනා පෙත්සම පෙබරවාරි 60 කැදවීමට අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියම කළේය.
එහි දී එම අභියාචනා වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ,දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකසිය විසි දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් විසින් මෙම කරුණට අදාලව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස් කරගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ලිඛිත උපදෙස් ලබාගැනීම සඳහා කල් අවශ්‍යව ඇති බවත්, ඒ අනුව මෙම අභියාචනය වෙනත් දිනයක කැඳවන මෙන් ද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස් කර ගන්නේ නම් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් සලකා බැලීමට සූදානම් බවය.
ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය සලකා බැලීම සඳහා අදාළ අභියාචනා පෙත්සම පෙබරවාරි මස 6 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.








