FAST NEWS

24×7 Around the Globe

ඇමැති මණ්‌ඩලය පත් කිරීම අදියර දෙකකින් සිදු කිරිමට පියවර.

නව ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැතිවරුන් හෙටත් (27 දා) නියෝජ්‍ය ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් අනිද්දාත් (28 දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්‌ පැවැසීය.

කෙසේ වෙතත් ඇමැති මණ්‌ඩලය පත්කිරීම අදියර දෙකක්‌ යටතේ සිදු කෙරෙන අතර ඒ අනුව ප්‍රථම අදියර යටතේ හෙට කැබිනට්‌ ඇමැතිවරුන් 35 දෙනකු දිවුරුම් දෙන බව ද හෙතෙම සඳහන් කළේය.

එක්‌සත් ජාතික පෙරමුණට කැබිනට්‌ ඇමැති ධුර 19 ක්‌ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට කැබිනට්‌ ඇමැති ධුර 16 ක්‌ හිමිවනු ඇතැයි ද පැවැසූ මෙම ප්‍රකාශකයා ඊට පසුදින දිවුරුම් දීමට නියමිත නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැති මණ්‌ඩලය 30 ක්‌ පමණ වෙනු ඇතැයි ද කීය.

දෙවැනි අදියර යටතේ පත් කෙරෙන ඇමැති මණ්‌ඩලයේ ප්‍රමාණය සම්බන්ධව ලබන මස මුල් සතියේ රැස්‌වන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ලබන 04 හෝ 05 දිනවල එම පත් කිරීම් සිදු කිරීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය.

නව ආණ්‌ඩුවේ ඇමැති ධුර ලබා ගැනීම සම්බන්ධව ශ්‍රීලනිපය තුළ පවතින පරස්‌පරතාවය හේතුවෙන් නව ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම ප්‍රමාදවීමට බලපෑ ප්‍රධාන කරුණ බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.