FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත් අන්තර්ජාලයෙන් පමණයි..

 

2018/2019 නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත් මේ වනවිට කැඳවා ඇති බවත් අයැදුම්පත් යොමුකළ යුත්තේ අන්තර්ජාලය හරහා පමණක් බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව www.ugc.ac.lk xp යන වෙබ් අඩවිය හරහා අයැදුම්කරුවන් අයදුම්පත් නිකුත් කළ යුතු බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය පී.එස්.එම්. ගුණරත්න පැවැසීය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අත්පොත නිසියාකාරව අධ්‍යයනය කොට කල්වේලා ඇතිව අයැදුම්පත් යොමු කරන ලෙසත් එ මහතා පෙන්වා දෙයි.

ඉසෙඩ් ලකුණ සහ මනාපය අනුව තමන් මුලින්ම තේරුණු පාඨමාලාවට සිසුන් ලියාපදිංචි විය යුතු බවද ,එම පාඨමාලාව සඳහා වෙනත් විශ්වවිද්‍යාලවලට ඇති පුරප්පාඩු පිරවීමේ වටයේදී තමන් ප්‍රථමයෙන් තේරුණු පාඨමාලාවේ ලියාපදිංචි නොවුණු සිසුන්ව සලකා නොබලන බවද හෙතෙම පැවැසීය.

මේ නිසා සිදුකළ යුතුවන්නේ ප්‍රථමයෙන්ම තේරුණු පාඨමාලාවට අයැදුම්කරුවන් ඇතුළත් වීම යැයිද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

පුරප්පාඩු පිරවීම සඳහා සලකා බැලෙන්නේ අදාළ අයැදුම්කරුගේ වෙනත් පාඨමාලා සඳහා වන මනාපයන් පමණක් යැයිද ඔහු පැවැසුවේය.

පසුගිය 2016 වර්ෂයේ සිට මේ දක්වාම අදාළ අයැදුම්පත් ඔන් ලයින් (Online) ක්‍රමයට කැඳවූ බවත් අයැදුම්පත පිරවීමේදී ගැටලුවක් මතුවුවහොත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919 අංකය අමතා තොරතුරු ලබාගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.