අද දිනයේ සිට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි සුහුරු ජාතික හැදුනුම්පත් නිකුත් කරයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ මෙම නව ක්‍රමයට හැදුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු බස්නාහිර සහ සබරගමු පළාත්වල අත්හදා බැලීම සිදුකල බවයි.
එය සාර්ථක වූ නිසා අද දිනයේ සිට දිවයින පුරා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කල බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
මෙම නව ක්‍රමයට අනුව ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමේ දී අයදුම්පතේ අයදුම්කරුගේ ඡායාරූප ඇලවීම අවශ්‍ය නොවේ.
මේ සඳහා දෙපාර්තමේතුවේ ලියාපදිංචිව ඇති ඡායාරූප ශාලා වලින් ලබාගන්නා ඡායාරූප දෙපාර්තමේන්තුව වෙත විද්‍යුත් තැපැල් මාර්ගයෙන් යොමු කල යුතු වේ.
ජාතික හැඳුනුම්පත් සඳහා විකෘති කළ හෝ වැරදි ඡායාරූප ඇතුළත් කිරීම වැනි අයථා ක්‍රියා නතර කිරීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙල හඳුන්වා දෙන බව වියානි ගුණතිලක මහතා පැවසුවේය.
මේ අතර සියලුම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් අද(01) දිනයේ සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මීට පෙර මැදපෙරදිග රටවල් සඳහා පමණක් වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් ද නිකුත් කළ අතර එම ගමන් බලපත්‍රය නිකුත් කිරීම ඊයේ (31 ) දිනයේ සිට අවසන් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.








