FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයෙන් පරාජයට පත්වු රෝසිගෙන් නිවේදනයක්.

පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසරය මත මනාප නැවත ගණන් කරන ලෙස ඉල්ලා සිටින බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස තමාට නැවත පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව උදාවනු ඇති බවත්, සමහර විට එම අවස්ථාව නොලැබෙනු ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ නිසා ජාතික ලැයිස්තුවෙන් තමන් පාර්ලිමේන්තුවට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලා එක්රැස්වීම හෝ නිරර්ථක ආයාචනා හෝ සිදුනොකරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහත්මිය එම නිවේදනයේ සඳහන් කර තිබේ.

බොහෝ කාන්තා සංවිධාන ප්‍රධාන සමාජ සමූහ රාශියක් තමා පාර්ලිමේන්තුවට ඇතුළත් කරගන්නා ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එහෙත් පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් ඇතුළත් කර නොගන්නා ප්‍රතිපත්තියක එක්සත් ජාතික පක්ෂය සිටින නිසා ඒ ප්‍රතිපත්තිය රැකීමට සියලු දෙනාම කටයුතු කළ යුතු බවත් ඇය එම නිවේදනය මගින් ඉල්ලා සිටියි.

පාර්ලිමේන්තුවට ඇතුළත්වීමට නොහැකි වුවත් පක්ෂය වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇපකැපවී කටයුතු කරන බව එම නිවේදනය මගින් පෙන්වාදී ඇත.