FAST NEWS

24×7 Around the Globe

අමැති ධුර ගණන ගැන නීතිපති

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් පැන නැගි ඇතැයි වාර්තාවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව තනි ආණ්ඩුවක සිටිය හැකි කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30ක් ලෙස සඳහන් වී තිබෙන නමුත් එම 30 දෙනා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග විය යුතුද නැද්ද සම්බන්ධයෙන් මෙම නීති ගැටලුව මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

තනි ආණ්ඩුවක සිටිය හැකි ඇමැතිවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින තත්ත්වය පැහැදිලි කර දෙන්නැයි ආණ්ඩුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇතැයි පැවසේ.

ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සමඟ තවත් ඇමැතිවරුන් 28 දෙනකුගෙන් සමන්විත මුළු කැබිනට් මණ්ඩලය තිස් දෙනකු විය යුතු වන බව යැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැර කැබිනට් ඇමැතිවරුන් තිස්දෙනකුගෙන් ඇමැති මණ්ඩලය සමන්විත විය යුතු බව  යැයි ද එම ආරංචි මාර්ග කියයි.