FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්බන්ධ පෙත්සම් විභාගයේ තීන්දුව අද (13) පස්වරුවේ.

 

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂද ඇතුළුව පාර්ශ්ව ගණනාවක් විසින් ගොනු කොට තිබුණු පෙත්සම් පිළිබඳව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ පැවැති විභාගයේ තීන්දුව අද (13) පස්වරු 04 ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළ බව අප අධිකරණ වාර්තාකරු පවසයි.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ දින 04ක් තිස්සේ එකී පෙත්සම් 12 ක් හා ඒවාට එරෙහිව කරුණු දැක්වීම සඳහා ඉදිරිපත් වූ මැදිහත්කාර පෙත්සම්ද පිළිබඳව පැවැති නඩු විභාගය ඉකුත් 07 වැනිදා සිකුරාදා රාත්‍රි 07 පමණ අවසන් වූ අතර නඩු තීන්දුව ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බැව් අගවිනිසුරු නලින් පෙරේරා එහිදි ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව සම්පූර්ණ පිටු විශාල සංඛ්‍යාවකින් යුතු නඩු තීන්දුව නිකුත් කිරීමට ඇති අපහසුතාව මත ඇතැම් විට විවෘත අධිකරණයේදී සාරාංශගත කෙටි නඩු තීන්දුවක් කියවා තීන්දුව ප්‍රකාශ කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවද අධිකරණ අාරංචි මාර්ග කියයි.

එසේ වුවහොත් සම්පූර්ණ සවිස්තරාත්මක නඩු තීන්දුව නිකුත් කිරීම සඳහා දිනයක් නියම කරනු ඇති බවත් පැවසේ.