FAST NEWS

24×7 Around the Globe

ගාලු කොටුවේ ගොඩනැගිලි 100 ක් විදේශිකයන් මිලට ගනී..

 

මේ වන විට ගාලු කොටුවේ ගොඩනැගිලි 100 කට අධික සංඛ්‍යාවක් විදේශිකයින් විසින් මිලට ගෙන ඇති බවත් මීට පෙර 3000 කට ආසන්න ජනගහණයක් සිටි කොටුවේ ජනගහණය ද 1500 ට වඩා අඩුවී ඇති බවත් ගාලු උරුමය පදනම සදහන් කරයි.

කොටුවේ පර්චසයක් මේ වනවිට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වන බවද නඩු තිබෙන ගොඩනැගිලි ද තැරැව්කරුවන් විසින් විදේශිකයින්ට රවටා විකිණීම නිසා ඒවා මිලට ගෙන ඇති විදේශිකයින් ගැටලු රැසකට මුහුණදී ඇති බවත් වාර්තා වෙයි.

මේ හේතුව මත ආයෝජකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවද ගාලු උරුමය පදනමේ නිලධාරියකු පැවසීය.

රජයේ ආයතන පවත්වාගෙන යන ගොඩනැගිලි 37 ක් ඇතුළු ගොඩනැගිලි 450ක් පමණ කොටුවේ ඉදිකර ඇත.

මේ අතරින් 100 ට අධික ප්‍රමාණයක් මේ වනවිට විදේශිකයින් විසින් මිලට ගෙන සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන බවත් වාර්තා වෙයි.

නාගරික සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැරණි ගොඩනැගිලි විනාශ කරන ලද අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන අතර මේ වන විටද එවැනි නඩු කිහිපයක් පවරා තිබෙන බව සදහන් වේ.