නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින්, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල රාජකාරියක් අභියෝගයට ලක් කර ඇති බැවින් පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහන ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත් එහෙයින් එම පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා ප්රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (05) විභාග වන අවස්ථාවේ කරුණු දක්වමීන් නිතීපතිවයා අධිකරණය වෙත දැනුම් දුන්නේය.
එසේම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කර ඇත්නම් එවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 ව්‍යවස්ථාවේ දක්වා ඇති බවත් එහිදී කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විභාගයක් කිරීමට ඉල්ලීමක් කළ යුතු බව නීතිපතිවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ කටයුතු අභියෝගයට ලක් කිරීමේ ක්‍රියාව පාර්ලිමේන්තුව සතු කාර්යයක් බව නීතිපතිවරයා පවසා සිටියේය.
මේ අවස්ථාවේ පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහනය මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියේය.
ඒ අනුව විධායයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා, ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ලෙසට කටයුතු කිරීමේ කටයුතු මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අදාළ පෙත්සම් පිළිබඳ විභාගය අද (05) දෙවැනි දිනටත් සිදු කෙරෙමීන් පවතියි.








