ජපන් ජාතිකයින්ගේ ජනගහනයේ අඩුවීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම හේතුවෙන් ජපානයේ වෘත්තිය රැකියාවට යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින් සඳහා ස්ථිර පදිංචියට අවස්ථාව ලබාදීමට ජපාන රජය තීරණය කර ඇත.
මෙම වැඩපිළිවෙල එළැඹෙන අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
කාණ්ඩ 02 ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පළමු කාණ්ඩය සඳහා වසර 03 ක තාක්ෂණික පුහුණුව හා ජපන් භාෂාව හදාරා තිබිය යුතුව ඇත.
ඔවුන් සඳහා වසර 05ක නේවාසික වීසා කාලයක් හිමිවන අතර ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා මෙය වලංගු නොවේ.
එසේම වසර 05ක වීසා කාලයක් හිමිවූ ශ්‍රමිකයින්ට වසර 10 ක් දක්වා එරට සේවය කිරීමට අවස්ථාව සැලසෙන අතර මෙම ශ්‍රමිකයින් සඳහා ජපන් රජය විසින් නේවාසික පහසුකම් සලසා දෙනු ලැබේ.
කෘෂි, හෙද, සාත්තු සේවක, ආහාර පාන නිෂ්පාදනය, ඉදිකිරීම්, නැව්බඩුකරණ සහ නැව් යන්ත්‍රරෝපකරණ, ආගන්තුක සත්කාරය, ආහාරසේවා, ධීවර කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්තශාලා, විද්‍යුත් සහ විදුලි උපකරණවලට අදාළ කර්මාන්ත, වාහන නඩත්තු කිරීම සහ ගුවන් සේවා වැනි රැකියා ක්ෂේත්‍ර සදහා රජය විසින් ලබාදෙනු ලබන නේවාසික පහසුකම් හිමිවේ.
02 කාණ්ඩය යටතේ වර්ගීකරණය කරනු ලබන ශ්‍රමිකයින් සඳහා ජපානයේ රැදී සිටීමේ නිශ්චිත කාලයක් සීමා කර නැත.
මෙම ශ්‍රමිකයින් සඳහා ස්ථිර නේවාසික පහසුකම් ලබාදෙන අතර ඔවුන්ගේ පවුලේ ඥාතීන් හටද ජපානයේ රැදී සිටීමේ අවස්ථාව හිමිවේ.
පවුලේ ඥාතීන් සමඟ ජපානයට පැමිණෙන ශ්‍රමිකයින් සඳහා වසරකට වරක් මෙම වීසා බලපත්‍ර පිළිබදව සමාලෝචනයක් සිදුකරන අතර, බරපතල සිදුවීම් වාර්තා වුවහොත් වීසා බලපත්‍ර අවලංගු කිරීමට ජපන් රජය කටයුතු කරනු ලැබේ.
ජපානයේ නීතිවිරෝධි ලෙස රැදී සිටින පුරවැසියන්ගේ හා ජපන් සරණාගත ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් එරට රැදීසිටින සරණාගතයින්ගේ රටවල් සඳහා මෙම අවස්ථාව හිමි නොවේ.