FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානයෙන්…

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කර ඇත.
ෆර්හාන් හක් සිය නිවේදනය මඟින් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැර, 2019 වර්ෂයේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීම සඳහා, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණය වෙත එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගේ අවධානය යොමුව ඇති බවයි.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් වලට අනුව, දේශීය ආයතන පද්ධතියට ගැලපෙන පරිදි නීතියේ ආධිපත්‍යට හා නිසි ක්‍රියාවලියට ගරු කරමින් උද්ගත වී ඇති මතභේදාත්මක තත්ත්වය විසඳා ගැනීමේ වැදගත්කම මහා ලේකම්වරයා අවධාරණය කරන බව සිය ලිපිය මගින් දැනුම් දෙයි.
සාමය සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් මානව හිමිකම්, යුක්තිය හා සාධාරණත්වය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සුරැකෙන පරිදි කටයුතු කරන ලෙස මහා ලේකම්වරයා ශ්‍රී ලංකා රජයට නැවත සිහිපත් කර සිටියි.