FAST NEWS

24×7 Around the Globe

රවීගේ දියණිය ඔනෙලා කරුණානායක අද (12) අධිකරණය හමුවට…

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයකට අනුව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායක අද (12) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
ඒ හිටපු අමාත්‍ය රවී කරුණානායක අසත්‍ය ප්‍රකාශ ලබාදීමේ සිද්ධියකට අදාළවයි.
බැඳුම්කර වංචා සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සත්‍ය පවසන බවට දිවුරා පොරොන්දුවී අසත්‍ය පවසන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රවී කරුණානායකට එරෙහිව චෝදනා එල්ල වෙයි.
මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ඔහුගේ දියණිය වන ඔනිලා කරුණානායක ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව ඉල්ලා තිබුණි.
ඒ අනුව පසුගිය 05 වැනිදා ප්‍රකාශයක් ලබාදීමට ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ගිය බවත් ඇය සමඟ ඇගේ නීතිඥවරුන්ට එම දෙපාර්තුමේන්තු කාර්යාලය තුළ යාමට අවසර නොදීම හේතුවෙන් තම සේවාදායිකාව ආපසු හැරී පැමිණි බව ද ඇයගේ නීතිඥවරයා පසුගිය (09) වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණිලි කර සිටියේය.
එවිට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වා සිටියේ එදින පෙරවරු 9.30 ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණෙන මෙන් ඔනිලා කරුණානායක නමැත්තියට දැනුම් දී තිබුනු බවය.
එහෙත් ඇය එදින පෙරවරු 9.08 ට රහස් පොලිස් කාර්යාලයට පැමිණ ආපසු හැරී ගොස් තිබූ නිසා ප්‍රකාශය සටන් කර ගැනීමට නොහැකි වූ බව එම දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේය.
සියලු කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඔනිලා කරුණානායකට සියලු ලේඛන සමඟ ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන අද (12) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කළේය.