FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවට රැගෙන ආ සරණාගත දරුවන් ස්ථිර වශයෙන් රඳවා නොගන්නා බව ස්වදේශ කටයුතු ඇමැති පීටර් ඩටන් කියයි

ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රේලියාවට රැගෙන ආ සරණාගත දරුවන් එහි ස්ථිර වශයෙන් රඳවා නොගන්නා බව ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමැති පීටර් ඩටන් කියයි. එනමුදු ඔවුන් සමඟ ඔවුන් ගේ මා පියන්ට නාවුරු කඳවුරින් පිටවීමට අවසර ලැබෙන්නේ ද යන්න තහවුරු කිරීමට නොහැකි බව ද ඔහු පවසා සිටියේ ය.
ස්කොට් මොරිසන් ආණ්ඩුව නාවුරු සරණාගත කඳවුරේ දැනට රඳවා සිටින දරුවන් 40 දෙනා මේ වසර අවසාන වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචි කිරීමට සැලසුම් සකස් කොට ඇතැයි මේ සතියේ අනාවරණය කළේ ය.
‘අපි මේ සම්බන්ධ වැඩකටයුතු පිළිවෙළ කරමින් සිටිනවා. ඉන් අදහස් කරන්නේ අනවසර බෝට්ටුවලට නැවත මෙහි පැමිණීමට ඉඩක් ලබා දෙනවා යන්න නොවේ. ඔස්ට්‍රේලියාවට රැගෙන ආ සරණාගත දරුවන් එහි ස්ථිර වශයෙන් රඳවා නොගන්නා බව අප පැහැදිලිව කිව යුතුයි‘ යැයි ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමැතිවරයා කියයි.
නාවුරු සරණාගත කඳවුරුවල සිටින සරණාගතයන්, රැකවරණ පතන්නන් සහ දරුවන් ඔස්ට්‍රේලියාවට කඩිනමින් රැගෙන යන ලෙසත් ඒ සඳහා විසඳුමක් සොයා බැලීම සඳහා දේශපාලන පක්ෂ දෙකම සැලකිලිමත් විය යුතු බවත් ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජූලියා බෑන්ක් ඇතුළු බොහෝ සංවිධාන ඔස්ට්‍රේලියා ආණ්ඩුවට බල කර තිබිණි.
මේ ඉල්ලීම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළ පළමු ලිබරල් මන්ත්‍රීවරිය වන බෑන්ක්ස්, ශක්තිමත් දේශසීමා පවත්වා ගෙන යාම සඳහා සභාග රජයෙන් ඉදිරිපත් වන”යුක්ති සහගත තර්ක” ඇතැම්විට ප්‍රායෝගිකව දුර්වල වූ බවත් ප්‍රකාශ කළා ය.
නාවුරු දුපතේ රඳවා සිටි දරුවන් 11 ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රේලියාව වෙත පසුගිය දා යවා තිබිණි. දීර්ඝ කාලයක් තිස්සේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ලෙස ද හුවා දක්වන ලද මෙම කඳවුර තුළ මතු වූ මානසික රෝග අර්බුදය හේතුවෙන් ගත් ආසන්න ම පියවර මෙය වේ.