FAST NEWS

24×7 Around the Globe

ප්‍රසන්න රණතුංගගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට..

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියම කරනු ලැබීය.
මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට මේ මස 05 වනදා සිට 11 වනදා දක්වා සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා චීනයට යාමට අවශ්‍ය බැවින් මෙම තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසටයි.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරුට ඒ සදහා අවසර ලබාදුන් අතර නඩු විභාගය ජනවාරි මස 17 වනදා පැවැත්වීමට තීන්දු කළේය.
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු ඉඩමක් ගොඩ කර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් බලහත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග , ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් 03 ට එරෙහිව අදාළ නඩුව ගොනුකර ඇත.