FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාත් සභාවේ සියලු නිළධාරීන්ට බදාදා දිනය අනිවාර්ය කරයි…

උතුරු පළාත් සභාවේ සියලුම රජයේ නිලධාරීන් මහජන දිනය පැවැත්වෙන සෑම බදාදා දිනයකම කාර්යාලවල රැඳී සිටිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පැවසීය.
උතුරු පළාත් සභාවේ නිල කාලය පසුගිය ඊයේ (24) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වූ අතර ඒ අනුව එහි පරිපාලන බලය උතුරු ආණ්ඩුකාරතුමා වෙත පැවරිණි.
අද පෙරවරුවේ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී එහි සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ හා ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමක් පවත්වා ඇත.
එහිදී ආණ්ඩුකාරවරයා සදහන්කර ඇත්තේ මධ්‍යම රජය විසින් පළාත් සභාවලට නිකුත් කර ඇති චක‍්‍රලේඛ හා අනිකුත් නිත්‍ය අණ පනත් භාවිතා කරමින් තම තමන්ගේ කාර්යාලවල කටයුතු කිරීමේ දී මහජනතාවගේ හිත සුව පිණිස එම කටයුතු වඩාත් මහජනතාවට දැනෙන සුළු ආකාරයෙන් කළ යුතු බවයි.
එමෙන්ම සෑම බදාදා දිනයකම මහජනයා මුණ ගැසීම සඳහා කාර්යාල තුළ රැඳීසිටිය යුතු බවත් එසේ තමන්ට රැඳී සිටිය නොහැකි අවස්ථාවන්වල තමන්ගේ දෙවන නිලධාරියෙකු අනිවාර්යයෙන්ම කාර්යාලය තුළ රැඳී සිටිය යුතු බවටත් උපදෙස් ලබා දෙන ලෙස සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මෙහිදී ආණ්ඩුකාරතුමන් විසින් උපදෙස් ලබා දී තිබේ.