FAST NEWS

24×7 Around the Globe

සී. වී. විග්නේශ්වරන්ගෙන් නව පක්ෂයක්..

එළඹෙන මැතිවරණවලදී උතුරේ දෙමළ ජනතාවගේ මෙන්ම උතුරුකර භූමියේ අයිතිය වෙනුවෙන් දෙමළ ජනතා පරමාධිපත්‍යයේ බලය පෙරටු කරගෙන සටන් කිරීමට නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව එම පළාතේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කළේය.
විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතුව ඊයේ (24) රැස්වූ දෙමළ ජනතා සභාවේ ප්‍රසිද්ධ රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
මෙම රැස්වීම යාපනය නල්ලූර් රාමේශ්වරන් ශාලාවේදී පැවැති අතර ඒ සඳහා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු පන්සිය දෙනකුට ආසන්න පිරිසක් එක්වී සිටියහ. නුදුරු අනාගතයේදී උතුරේ දෙමළ ජනතාවට වැඩි වැඩියෙන් අයිතීන් මෙන්ම සංවර්ධනයේ වරප්‍රසාද ලබාගැනීමට දෙමළ ජනතා සන්ධානය නමින් නව දේශපාලන පක්ෂයක් ඇතිකර ගන්නා බවද විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කර තිබේ.
වසර තිහකට ආසන්න කාලයක් උතුරේ දෙමළ ජනතාව යුද්ධයකට හිර කරමින් එහි ඵල විපාක තවමත් තම ජනතාවට විඳින්නට සිදුවීම පිළිබඳ දැඩි සේ කම්පාවට පත්වන බව ප්‍රකාශ කළ විග්නේශ්වරන් මහතා කොළඹ ආණ්ඩුවලින් උතුරේ දෙමළ ජනතාව බලා‍පොරොත්තු වන වරප්‍රසාද නොලැබෙන බැවින් වඩාත් පුළුල් සහ ශක්තිමත් පක්ෂයක් ඇති කර සන්ධාන ගතවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
විග්නේශ්වරන් හිටපු මහ ඇමැතිවරයාගේ දෙමළ ජනතා සන්ධානය සමග උතුරු පළාත් වනිතා කටයුතු ඇමැතිනී ආනන්දි ශෂිදරන්ගේ මක්කල් සුයාට්චි කලහම් සහ දෙමළ ජනතා පෙරමුණද එක්වීමට නියමිතව තිබෙන බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කළේය.