FAST NEWS

24×7 Around the Globe

පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත අද (12) පාර්ලිමේන්තුවට..

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවල විභාග කරන සාක්ෂි සෘජුව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ පරීක්ෂණ සඳහා සෘජුව යොදාගත හැකි ලෙස විධිවිධාන සැලසෙන පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
දැනට පවතින නීතිය ප්‍රකාරව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවල විභාගවන සාක්ෂි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පරීක්ෂණ සඳහා සෘජුව යොදාගත නොහැකිය
ඉහත පසුබිම යටතේ යම් සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක විභාග වූ සාක්ෂි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යොමු කළද කොමිසම එම පරීක්ෂණය යළි අරඹා මුල සිටම සාක්ෂි විමසීමට සිදු වේ.
පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව ජනාධිපති කොමිෂන් සභාවක විභාග වූ සාක්ෂි පදනම් කරගෙන ඉතා ඉක්මනින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරික්ෂණ ආරම්භ කළ හැකි බව රජයේ මතය වි තිබේ.