TITLI සුළිකුණාටුව ඉන්දීයාවට – හෙට (11) සිට වැසි අඩුවෙයි..

TITLI සුළිකුණාටුව ඉන්දීයාවට – හෙට (11) සිට වැසි අඩුවෙයි..

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව (TITLI) ඔක්තෝබර් 09 දින 2330 පැය පමණ වන විට, උතුරු අක්ෂාංශ 15.5 සහ නැගෙනහිර දේශාංශ 86.0 ආසන්නව ස්ථානගතව පවතින බවත්,මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී 1000 පමණ දුරින් ස්ථානගතව පවතින අතර එය වයඹ දෙසට ගමන් කරමින් ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ සීමාවෙන් ඉන්දියාවට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තු වන බවද කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (10) පෙරවරු නිකුත් කළ කාළගුණ නිවේදනයෙහි සඳහන් වෙයි.
ඒ අනුව දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් හෙට (11) දිනයේ සිට බලාපොරොත්තු වන බව එම නිවේදනයෙහි සඳහන්.
අද (10) දිනයේදි බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ,දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද පැවසේ.
දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකිය.
බස්නාහිර, දකුණු, මධ්‍යමසහ සබරගමුව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.