විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්…

විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්…

අයහපත් කාළගුණය හේතුවෙන් ප්‍රදේශ රැසක විපතට පත් ජනතාව වෙත කඩිනමින් සහන සලසන ලෙසටත් වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය හා සෞඛ්‍ය පහසුකම් ආදිය සපයන ලෙසටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශයන් වෙත උපදෙස් ලබා දී තිබේ.
රාජ්‍ය සංචාරයක් පිණිස සීෂෙල්ස් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිතුමන් දුරකථනය මඟින් ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට උපදෙස් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ ජනතාවට සහන සැලසීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳව ගැටලුවක් ඇති කර නොගන්නා ලෙසයි.
විපතට පත් ජනතාව බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමන් විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.
ජනපතිවරයා ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල ඥාතීන් වෙත ද සිය බලවත් සංවේගය පළ කර සිටියි.