FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ සම්මුඛ පරීක්ෂණ අත්හිටුවයි..

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ ඉල්ලීමක් පරිදි ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටවු බව රාජ්‍ය සේවා කොමිසම පවසයි.
ලංකා පරිපාලන සේවයේ පුරප්පාඩු 46 ක් සීමිත ප්‍රවාහය ඔස්සේ සම්පූර්ණ කිරීම සදහා පසුගිය වසරේ ඔක්තෝබර් 8 හා 14 යන දෙදින මීට අදාළ ලිඛිත පරීක්ෂණය පැවැත්වුණු අතර එයින් ඉහළම ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබූවන්ගේ ලැයිස්තුවක් පසුගිය ජූලි 06 වැනිදා රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරිණි.
ඉන්පසුව මෙම ලිඛිත පරීක්ෂණ ප්‍රතිපල සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු පැමිණිලි මත අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝගයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ පිළිබඳව රාජ්‍ය සේවා කොමිසමට දන්වා තිබේ.
මේ අතර අදාළ ලිඛිත පරීක්ෂණයෙන් සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබූවන් පිරිසක් මෙසේ විමර්ශනයක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට බලයක් නැතැයිද එය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලය අභියෝගයට ලක් කිරීමක් යැයි ද පවසමින් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට ලිඛිතව පැමිණිලි කර තිබේ.