2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අද පෙරවරු 7 ට ආරම්භ විය.
මේ වන විටත් ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දැඩි උනන්දුවකින් ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණෙන බව අප වාර්තාකරුවන් පැවසී ය.
ඡන්ද විමසීම අද පස්වරු 4.00 ට අවසන්වීමට නියමිතයි.
2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් ලක්ෂ හතළිස් හතරදහස් හාරසිය අනූවකි.
මැතිවරණ කොට්ඨාස 22 කට මන්ත්‍රී ධුර 225 ක් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වේ.
මන්ත්‍රී ධුර 196 ක් සඳහා තරග කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් 6151 දෙනෙකු මෙවර මහ මැතිවරණයේ තරග වදිති.
වලංගු අනන්‍යතා පත්‍රයක් නොමැති කිසිම ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව හිමි නොවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ ය.
එම කාර්යාලය පැවසුවේ, ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය හැඳුනුම්පත සහ මැතිවරණ මහලේකම් කාර්යාලය නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත එම අනන්‍යතා පත්‍ර වන බව ය.
අද පැවැත්වෙන ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 12314 ක් පිහිටුවා ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ය.
ඡන්ද මධ්‍යස්ථානයක කලබලකාරි සිදුවීමක් වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ශූනය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය පවතින බව අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ය.
රාත්‍රි 10 පමණ වන විට ප්‍රථම තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට අපේක්ෂා කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසී ය.
මෙවර මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් එක්ලක්ෂ විසිපන් දහසක් පමණ යෙදවීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ ය.
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා පැවසුවේ, ඡන්දය ගණන් කිරීම සඳහා රාජ්‍ය නිලධාරින් 70,000ක් පමණ යොදා ගැනීමට නියමිත බවයි.







