FAST NEWS

24×7 Around the Globe

කුමන්ත්‍රණ සිද්ධිය පිළිබඳව තොරතුරු තමා සතුවත් ඇති බව පොලිස්පති කියයි..

ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක ප්‍රකාශයක් දීමට තමා සූදානම් යැයිද, පොලිස්පති වශයෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් දීම තමාගේ යුතුකම බවද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මාධ්‍ය වෙත පැවසීය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපර්තුමේන්තුව ඉදිරියේ දී තමාගෙන් ද ප්‍රකාශයක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද,මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට තමා සතුව තොරතුරු රැසක් තිබෙන බව ද පොලිස්පතිවරයා කීය.
මේ සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉතා සාර්ථකව කරගෙන යන හෙයින් සිද්ධියේ සුලමුල වැඩිකල් නොගොස් අනාවරණය වනු ඇතැයි ද පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.
ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට සූදානම් වන බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමීන් හෙතෙම මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය ලබා දුන්නේය.