ඔක්තෝබර් 02 දින පොළොන්නරුව මහ රෝහලේ සියළුම හෙද කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ කිරීමට සමස්ත ලංකා හෙද සංගමය කටයුතු සංවිධානය කර ඇත.
2016 – 2017 වසර සදහා හිග අතිකාල ලබා නොදීම , ශ්‍රේණිගත උසස්වීම් සදහා ගෙවිය යුතු හිග වැටුප් නොගෙවීම , හෙද හෙදියන්ට විදෙස් ගතවීමට ලබාදුන් විශේෂ නිවාඩු වසර 10 ක සේවා කාලයක් සදහා අත්හිටුවීම ආදී කාරණා හේතුවෙන් මෙම තීරණයට එළැඹ ඇත.
හෙද ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම, වැටුප් විෂමතා නිවැරදි නොකිරීම, දින 05 සතිය ලබානොදීම, ආදී හෙද සේවාවට සංවේදී අනෙකුත් ගැටළු කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු කිරීමද මෙම විරෝධතාවයේ අරමුණ බව ඔවුන් පවසයි.
වයඹ පලාත් සභාව හැර අනෙකුත් සියළුම පලාත් සභා සහ ඇතැම් මධ්‍යම රජයේ රෝහල්වල අදාල දීමනා ගෙවා ඇතත්, පොළොන්නරුව, අනුරාධපුර, කොළඹ ශ‍්‍රී ලංකා ජාතික රෝහල ආදී බොහොමයක් රෝහල්වල අදාල කිසිදු ගෙවීමක් සිදුකර නොමැති බව ඔවුන් පවසයි.
සමස්ත ලංකා හෙද සංගමය විසින් පසුගිය කාලය තුලදී විවිධ වෘත්තීය ක‍්‍රියාමාර්ග ගත්තද ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර නොලැබුණ බව ඔවුන් වැඩිදුරටත් පවසයි.