FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියා – මැලේසියා දෙරට අතර ඒකාබද්ධ සමුද්‍ර මුර සංචාරයක්

ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බලකායේ (ආර්එස්එෆ්) සහ මැලේසියානු වෙරළ ආරක්ෂක බළකායේ (MCG) නිලධාරීන් ගේ එකතුවෙන් දෙරට අතර ඒකාබද්ධ සමුද්‍ර මුර සංචාරයක් පසුගිය 24 වැනිදා ආරම්භ කළ බව ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බලකාය පවසයි.
පුද්ගල ජාවාරම් හා මිනිස් ජාවාරම් ඇතුළු සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තර්ජනවලට එරෙහිව කටයුතු කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බව ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බලකා කලාප අධ්‍යක්ෂ ක්‍රිස් ආඥාපති වෝටර්ස් කියයි.
Redback XI නමින් හැඳින්වෙන මෙම මෙහෙයුම සැප්තැම්බර් 24 සිට 28 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බලකායේ සහ මැලේසියානු වෙරළ ආරක්ෂක බළකායේ නාවික යාත්‍රා සහ කාර්ය මණ්ඩල මේ සඳහා එක්ව ඇති බව වාර්තා වෙයි.
ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බලකා කලාප අධ්‍යක්ෂ ක්‍රිස් ආඥාපති වෝටර්ස් පැවසුවේ මෙම මෙහෙයුම දෙරට අතර සිදු කෙරෙන සමුද්‍ර ආරක්ෂණ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම, මෙහෙයුම් කුසලතා හුවමාරු කිරීම සහ අන්තර් ක්‍රියාකාරී හැකියා ගොඩනගා ගැනීමට ඉඩ සලසා දෙනු ඇති බවයි.
‘අප ස්වාධීනව හා හවුල්කරුවන් වශයෙන් මුහුණ දෙන සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තර්ජන හා දැවැන්ත ආරක්ෂක අභියෝග සමඟ වඩාත් පලදායී ලෙස කටයුතු කිරීම සඳහා මෙම මෙහෙයුමෙන් අපට බලය ලැබෙනවා යි ආඥාපති වෝටර්ස් පැවසී ය.