ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ස්වකීය තනතුරු වලින් ඉවත් කළ බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය, එජනිස කොළඹ දිස්ත්‍රීක් අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
හෙතෙම කියා සිටියේ මෙය ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබන ජයග්‍රහණයට කවුරුන් විසින් හෝ බලපෑම් කිරීමට උත්සාහ දැරීමක් බවයි.
ශ්‍රීලනිපයේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ කිසිවෙකු හෝ තනතුරකින් ඉවත්කරනු ලබන්නේනම් එය මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් සිදුකළ යුතු බවත්, මධ්‍යම කාරක සභාව කැඳවීමට එරෙහිව මේ මොහොතේ අධිකරණයේ වාරණ නියෝගයක් බලපැවැත්වෙන බැවින් එය කැඳවීමට හෝ නොහැකි බවත් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙකු තනතුරකින් ඉවත්කරන්නේනම් සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව එහි විධායක සභාවේ අනුමැතියෙන් එය සිදුකළ යුතු බවත්, විධායක සභාව කැඳවිය යුත්තේ එහි මහලේකම් වන තමා විසින් වුවත් තමන් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.







