FAST NEWS

24×7 Around the Globe

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වෙතින් 23,000කට ආසන්න පිරිසකට පොලී සහිත ණය…

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ මේ වන විට ආයතන හා පුද්ගලයන් 22,957 ට ණය ලබාදී ඇත.
නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙය ක්‍රියාත්මක කරනු ලබයි.
රජයේ සහ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය මුදල්වල මුළු වටිනාකම රුපියල් මිලියන 49,176 කට අධික වන බව වාර්තා වේ.
නව ව්‍යාවසායක පරපුරක් බිහි කිරීමේ අරමුණෙන් ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ පොලී සහන ණය යෝජනා ක්‍රම 16 ක් හඳුන්වා දෙන ලදී.
මෙම ණය යෝජනා ක්‍රමවල විශේෂත්වය වන්නෙ ඊට අදාළ සම්පූර්ණ පොලිය හෝ පොලියෙන් කොටසක් රජය මගින් අදාළ ණයලාභියා වෙනුවෙන් බැංකු වෙත ගෙවීමයි.
ජය ඉසුර, සොඳුරු පියස, මාධ්‍ය අරුණ, ඇරැඹුම, හරිත ණය සහ මධ්‍යම ආදායම්ලාභී නිවාස ණය ඇතුළු ණය යෝජනා ක්‍රම රැසක් ඊට ඇතුළත් වේ.