ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව ලබන මස 29 සිට විභාගයට..

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව ලබන මස 29 සිට විභාගයට..

2014 වසරේ පෙබරවාරි මස 01 වනදා සිට 2015 ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 04 දෙනාට එරෙහි නඩුව ඔක්තෝබර් මස 29 දා සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.
එම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ එම නඩුවට අදාළව සාක්ෂිකරුවන් පොලීසියට ලබාදුන් ප්‍රකාශ සමඟ ඇතැම් ලේඛන බැඳී පවතින බවත් මෙම නඩුවට මුහුණදීම සඳහා එම ලේඛන ද තමන් වෙත ලබාදීම අවශ්‍ය බව කියා සිටියේය.
නඩු විභාගය ලබන මස 29 සිට දිනපතා පැවැත්වීමට පියවර ගන්නා බව සඳහන් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට සාක්ෂි කරුවන් හතර දෙනෙකුට අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි දන්වා නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.