FAST NEWS

24×7 Around the Globe

විදේශීය ඔත්තු සේවා නියෝජිතයෝ ලංකාවට ඇවිත් – සෝමවංශ

මහා මැතිවරණයෙන් පසු ස්‌ථාවර ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ බිහිවීම වැළැක්‌වීම සඳහා විදේශීය ඔත්තු සේවාවල නියෝජිතයන් රැසක්‌ මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (13 දා) පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ අමරසිංහ මහතා ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා ලෙසත් ජනතා විමුක්‌ති පෙරමුණේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජිතයා ලෙසත් විදේශීය ඔත්තු සේවා සහ ඒවායේ නියෝජිතයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව තමාට හොඳ අවබෝධයක්‌ තිබෙන බව කීය.

ආසියාතික සහ බටහිර රටවල ඔත්තු සේවාවලටත් ඔවුන්ගේ නියෝජිතයන්ටත් අවශ්‍ය වී තිබෙන්නේ පදයට නටන රූකඩ නායකයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමට බවද එම නිසා මුදලට විකිණෙන දූෂිත දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට යෑවීමෙන් ජනතාව වැළකිය යුතු බවද අමරසිංහ මහතා පවසයි.

පිල් මාරුකරන මුදලට විකිණෙන ප්‍රතිපත්තියක්‌ නැති දේශපාලනඥයන් ජනතාව විසින් පත්කරනු ලැබුවහොත් ජනවාරි 8 දා මේ රටේ ජනතාව දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අහිමිවී ජාතික ආරක්‍ෂාවටද තර්ජනයක්‌ එල්ල විය හැකි යෑයි හෙතෙම කියා සිටී.