මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී රුපියල් බිලියන 20 ක් සාවද්‍ය පරිහරණය කළේ යෑයි පවසමින් කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට පෙරේදා (11 දා) ඉදිරිපත් කර තිබු පැමිණිල්ලක් සලකා බැලූ අතිරේක මහෙස්‌ත්‍රාත් චන්දිම ලියනගේ මහතා මෙම 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් විත්තිකරුවන් වන මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණා වන අර්ජුන ඇලෝසියස් යන මහත්වරුන්ට ඊයේ (12 දා) සිතාසි නිකුත් කළේය.
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (1) (අ) වගන්තිය යටතේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලකට අනුව මෙම සිතාසි නිකුත් කළේය.
2015 පෙබරවාරි 15 දා සහ 2015 පෙබරවාරි 21 දින අතර කාලයේදී රුපියල් බිලියන විස්‌සක් වටිනා රාජ්‍ය ණය බැඳුම්කර මහ බැංකුව විසින් වෙන්දේසි කිරීමේදී මහබැංකු අධිපති ලෙස බලය පාවිච්චි කරමින් අපේක්‍ෂිත පොලී අනුපාතය ඉක්‌මවා ඔහුගේ බෑණා වූ දෙවැනි විත්තිකරුට බැඳුම්කර නිකුත් කර සාවද්‍ය පරිහරණය කළේයෑයි පවසමින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
චූදිතයින් දෙදෙනා කුමන්ත්‍රණකාරීව කළ මෙකී ගනුදෙනු මගින් ශ්‍රී ලංකාවේ මුළු පොලී අනුපාත චක්‍රය කෘතිම ලෙස විකෘතියට පත්වූ බවද සමස්‌ත පොලී අනුපාතය ඉහළ යෑවීම නිසා පැමිණිලිකරු වින්දිතයෙකුවූ බවද පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අනුව මොවුන්ට සිතාසි නිකුත් කරන ලෙසත් විදෙස් ගමන් බලපත්‍ර තහනම් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ඒ අනුව මෙම පැමිණිල්ල ඊයේ විභාගයට ගත් අතර විත්තිකරුවන් දෙදෙනාට සිතාසි නිකුත් කරන ලෙසට විනිසුරුවරයා නියෝග කළේය. විත්තිකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අංක අධිකරණයට ඉදිරිපත් කර නැති නිසා එම බලපත්‍ර අත්හිටුවිය නොහැකි බවද විනිසුරුවරයා කීවේය.
මේ අවස්‌ථාවේදී අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥ කෝලිත ධර්මවර්ධන මහතා තමන්ට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අවස්‌ථාවේදී විනිසුරුවරයා ප්‍රකාශ කළේ තමන් නියෝගය නිකුත් කර ඇති බැවින් විත්තිකරු සිටීනම් පමණක් ඔහුට විත්ති කූඩුවට නැග පසුව කරුණු ඉදිරිපත් කිරීමට අවස්‌ථාව දිය හැකි බවයි.
එහෙත් විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
මෙම නඩුව විමසා අවසන් වූ පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ග්‍රීක බැඳුම්කර වංචාවක් සහ සේවක අර්ථසාධක අරමුදල අවභාවිතයේ යෙදවීම පිළිබඳ පැමිණිල්ලක් විනිසුරුවරයා ඉදිරියට පැමිණියේය. එයද ඉහත ආකාරයටම කැලුම් කුමාරසිරි නමැති නීතීඥ මහත්මයකු විසින් පෞද්ගලික පැමිණිල්ලක් ලෙස ගොනු කර තිබුණි.
මෙම නඩුවද විමසන ලෙසට ඒ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වන්නිනායක මහතා විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළේය.
එහෙත් තමන් දිනයේ නියමිත නඩු විමසා අවසන් බැවින් එම පැමිණිල්ල අංක 09 මහෙස්‌ත්‍රාත් අධිකරණයට වෙත යොමු කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙම පැමිණිල්ල අංක 09 අධිකරණයේ මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ විමසීමට ගත් අවස්‌ථාවේදී ඊට විරෝධය දැක්‌වූ නීතීඥ මහතා තම පැමිණිල්ල පෙර විනිසුරුවරයා හමුවේම විමසිය යුතු බව ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව එම පැමිණිල්ල විමසීම පසු දිනකට කල් තැබිණි.







