FAST NEWS

24×7 Around the Globe

රංජන්ට එරෙහි චෝදනා කෙටුම්පත් ආඥාව භාර දෙයි..

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වන චෝදනා කෙටුම්පත් ආඥාව අද (30) නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ගොනුකර ලැබුවේය.
ඉකුත් වසරේ අගෝස්තු මාස 21 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා රත්නපුර නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයන් බවට ප්‍රකාශයක් කර ඇති බවට සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
මේ අනුව එම චෝදනා කෙටුම්පත භාරගත් අග විනිසුරු ප්‍රියසාද් ඩෙප්, විජිත් මලල්ගොඩ සහ එල් .ටී. බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය අගෝස්තු මස 08 වැනිදා දැනුම් දෙන බව නියම කළහ.
එසේම එහි පිටපතක් අධිකරණය විසින් වගඋත්තරකාර රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට ද ලබා දුන්හ.
මේ තුළින් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට අධිකරණ පද්ධතියට බරපතළ අපහාසයක් සිදු කර ඇති බව මේ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම ප්‍රකාශයට අදාළ වීඩියෝ පට නිරීක්ෂණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවට තීන්දු කිරීම නිසා රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා කෙටුම්පත් ආඥාවක් ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයාට නියම කර තිබු අතර ඒ අනුව නීතිපතිවරයා විසින් අද (30) දිනයේ මෙම කෙටුම්පත ඉදිරිපත් කළේය.
DE සිල්වා