FAST NEWS

24×7 Around the Globe

ජනපති අද විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුව අමතයි..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුව ඇමතීමට නියමිතව ඇත.
ඉතාලියේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා එම සංචාරය සාර්ථක ව නිමෙකර ඊයේ (17) අලුයම ජෝර්ජියාවේ ෂෝටා රුස්ටවේලි ටිබිලිසි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් (Shota Rustaveli Tbilisi International Airport) ගොඩබැස්සේය.
අදාළ සමුළුව ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුළු ශාලාවේදී අද ආරම්භ වන අතර මෙම හවුල්කාරීත්ව අරමුණු සාක්ෂාත් කරගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කිරීමට නියමිතව ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය, පුරවැසියන් කෙරෙහි රජය දක්වන විනිවිදබාවය, වගවීම, මහජන සහභාගීත්වය වැඩි දියුණු කිරීම උදෙසා සැකසුණු යාන්ත්‍රණයකි.
විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය 2011 වර්ෂයේ දී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව ස්ථාපිත කෙරුණු අතර වර්තමාන රජය විසින් ගෙන යනු ලබන යහපාලන වැඩපිළිවෙල අගයමින් එම හවුල්කාරීත්වය සමඟ එක් වන ලෙස ලැබුණු ආරාධනයකට අනුව 2015 වර්ෂයේදී ලංකාව එය හා එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
D.Undugoda