FAST NEWS

24×7 Around the Globe

රත්‍තරන් සඳහා පැනවූ බද්ධ ගැන ජනපතිගේ අවධානය…

රත්‍තරන් සඳහා පැන වූ 15% ක ආනයන බද්ද සහ ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා එහි ඇති අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳව අවධානය යොමු කරමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ යෝජනා කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර තිබේ.
ඊයේ (05) පෙරවරුවේ මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර එහිදී මේ පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මැණික් ගැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතනවලින් නිර්දේශ ලබා ගැනීමේ ගැටලු සහ ප‍්‍රමාදයන් පිළිබඳවද මෙහිදී අවධානය යොමුවී ඇති අතර මැණික් ගැරීම සඳහා ඉඩම් නිදහස් කර ගැනීමේදී රාජ්‍ය ආයතන සහ වතු සමාගම් ආශ්‍රිතව මතුවී ඇති ගැටලුකාරී වාතාවරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මෙම ගැටලු අතරින් දැනට විසඳුම් ලබාදිය හැකි ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා අනෙකුත් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් 12 දා නැවත වරක් සාකච්ඡාවක් කැඳවීමටද උපදෙස් දී තිබේ.