FAST NEWS

24×7 Around the Globe

පෙට්‍රල් සහ ඩීසල් මිල යළිත් ඉහළට…

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ නැවත බලපැවැත්වෙන පරිදි රජය ගත් තීරණයකට අනුව, රුපියල් 137 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, එහි නව මිල වන්නේ රුපියල් 145 ක්. රුපියල් 148 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 155 ක්ද වනු ඇත.
ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 09 කින්. ඒ අනුව රුපියල් 109 ක්ව පැවති ඞීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 118 ක්.
එමෙන්ම, රුපියල් 119 ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 129ක්.
මේ අතර, ලංකා අයි. ඕ.සී සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ඉහළ නංවා නැංවීමට පියවර ගෙන ඇත. එම මිල ඉහළ නැංවීම සංස්ථා ඉන්ධන මිල ඉහළ නැංවීමට වඩා ඉහළ අගයක් ගැනීම විශේෂත්වයක්.
ලංකා අයි. ඕ.සී ප්‍රකාශයට පත් කළ නව මිල ගණන් වලට අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118 ක් වන අතර, එක්ස්ට්‍රා මයිල් ලීටරයක නව මිල රුපියල් 122 ක්.
ලංකා සුපර් ඩීසල් හෙවත් යුරෝ – 04 ලීටරයක නව මිල රුපියල් 129 ක් වන අතර, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 146 ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ලංකා අයි. ඕ.සී එක්ස්ට්‍රා ප්‍රිමියම් හෙවත් යුරෝ – 3 ලීටරයක නව මිල රුපියල් 149 ක් ලෙසත්, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 හෙවත් යුරෝ – 04 ලීටරයක නව මිල රුපියල් 158 ක් ලෙසත් ප්‍රකාශයට පත් කෙරුණා.
පෙට්‍රල් සහ ඞීසල් අලෙවියෙන් සමාගමට දරන්නට සිදුව ඇති පාඩුවෙන් කොටසක් ගෙවා ගැනීම සදහා අදාළ මිල වැඩි කිරීම සිදුකළ බවයි ලංකා අයි. ඕ.සී. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති සිද්ධාර්ත් අගර්වාල් ප්‍රකාශ කර සිටියි.