FAST NEWS

24×7 Around the Globe

මිහින් ලංකා සමාගමේ සේවකයන් 100කට මාස 09 ක් වැටුප් ගෙවා නැහැ…

මිහින් ලංකා ගුවන් සේවයේ සේවකයන්ට 2008 අප්‍රේල් මස සිට පුරා මාස 09 ක කාලයක්‌ එම සමාගම විසින් කිසිදු වැටුපක්‌ නොගෙවූ බව එම සමාගමේ හිටපු ගුවන්තොටුපළ මෙහෙයුම් (ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්) කළමනාකාරිනී ඉන්ග්‍රි‍රඩ් කැත්ලීන් ගුරුගේ මහත්මිය ඊයේ (4 ) ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් හෙළි කළාය.
තමා ඇතුළු 100කට අධික පිරිසකට මෙම වැටුප් නොගෙවීම සිදුකළ බවත් එම මාස නවයේම සේවකයන් සියලු දෙනාම වැටුප් රහිතව සේවය කළ බවත් එම හිඟ වැටුප් සමාගම විසින් පසුව හෝ ගෙව්වේ නැති බවත් ඇය සදහන් කළාය.
සමාගමේ අනාගතය පිළිබඳ අපේක්‍ෂාවෙන් එසේ වැටුප් නොලබා සේවය කළ බවද එහෙත් නව කළමනාකරණය යටතේ හෝ හිඟ වැටුප් නොලද බවද ඇය පැවසූ අතර, සේවකයන් සිය දෙනා වෙනුවෙන් මිහින් ලංකා ගුවන් සමාගම ගෙවිය යුතුව තිබූ මුළු වැටුප් මුදල් ප්‍රමාණය කොපමණද යන්න කොමිසම හමුවේ හෙළි නොවිණි.
එම මාස 09 ක කාලයේදී මිහින් ලංකා ගුවන් සමාගමට ගුවන් යානා නොතිබුණු බවත් කුලියට ලබාගෙන තිබූ ගුවන් යානා එම ආයතන විසින් නැවත ලබාගෙන තිබූ බවද ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කීවාය.