FAST NEWS

24×7 Around the Globe

භාරත ලක්ෂ්මන් නඩුවේ සාක්කිකරුවකුට දුමින්දගේ පියාගේ රියැදුරු බලපෑම් කරලා..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව පැවැත්වෙද්දී එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොකියන ලෙස විත්තිකාර දුමින්ද සිල්වාගේ පියාගේ රියැදුරු එහි සාක්කිකරුවකුට දුරකථනයෙන් බලපෑම් කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ඊයේ (03) පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවෙහි සදහන් කර ඇත.
නියෝජ්‍ය සොලිසිටර්වරයා විසින් කියා සිටියේ මහාධිකරණයේ එම නඩු විභාගයේදී එම සාක්කිකරු සඳහන් කළ දුරකථන අංකය සහ විත්තියේ සාක්කිකරුවකු වූ දුමින්ද සිල්වාගේ පියාගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී සිය රියදුරුගේ බවට සඳහන් කළ දුරකථන අංකය එකිනෙක සසැ‍ඳෙන බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද සිල්වා සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනාගේ කණ්ඩායම් දෙක අතර 2011 පළාත් පාලන මැතිවරණ දින කොළොන්නාවේදී ගැටුමක් ඇති වූ බවත් එහිදී දුමින්ද සිල්වා පළමුවෙන්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට පහර දී ඇති බව සාක්කිවලින් අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා තවදුරටත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවැසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වී මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් එම දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා මේ බව කීය.
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලීන් පෙරේරා සහ විජිත් මලල්ගොඩ යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවන ලදී.