FAST NEWS

24×7 Around the Globe

දුම්රිය මැදිරි විනාශ කළොත් අද සිට දැඩි දඩුවම්….ප්‍රවාහන ඇමති

දුම්රිය මැදිරි තුළ වන විනාශකාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා අද (02) සිට සිවිල් ඇදුමින් නියුතු දුම්රිය ආරක්ෂක නිළධාරීන් දුරගමන් සේවා සඳහා යෙදවීමට කටයුතු කරන බවත් මෙහිදී යම්කිසි අයකු මෙම විනාශකාරී ක්‍රියාවන්වල යෙදී අසුවුවහොත් පොදු දේපළ විනාශ කිරීමේ පනත යටතේ සිර දඩුවම් ලබාදීමටත්, සිදුවු අලාභය අයකර ගැනීමට කටයුතු කරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
කෝටි ගණන් රජය විසින් වියදම් කර ජනතාවට දුම්රිය සේවා ලබා දෙන විට, දුම්රිය සේවාව රැකගැනීමට මහජනතාවට ද වගකීමක් හා යුතුකමක් ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
දේශීය නිශ්පාදකයින් විසින් නවීකරණය කරන ලද මැදිරි 10 කින් යුතු විශේෂ දුම්රිය අද (02) දින පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් මාතර බලා පිටත් කිරීමට සංවිධානය කර තිබු උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු අවධාරණය කළේය .
වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීමේ හා නඟා සිටුවීමේ අරමුණින් පැරණි අබලන් වු දුම්රිය මැදිරි 200 ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් 2017 වසරේ ජනවාරි මස ආරම්භ කළ අතර මේ වන විට දුම්රිය මැදිරි 25 ක් නවීකරණය කොට ධාවනය සඳහා යොදවා ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
රජයට පමණක් දුම්රිය සේවය නඟා සිටු වීමට නොහැකි බවත් ඒ සඳහා දුම්රිය සේවකයන්ගේ මෙන්ම මගීන්ගේද සහය අවශ්‍ය බව අමාත්‍යවරයා එහිදි වැඩි දුරටත් ප්‍රකාශ කළේය.