මහ ඡන්දෙට ඇත්තේ තව දින හතක් පමණි. ලබන 17 වැනිදා පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත්ව සිටින පක්ෂවලට හා අපේක්ෂකයන්ට ප්‍රචාරක කටයුතුවල නියැළීමට හැක්කේ ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා පමණි. එනිසා මේ දින කිහිපයේ ඡන්ද උණුසුම තව තවත් ඉහළ යනු ඇත. රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන් පමණක් නොව පාරතොටේ, තාප්පවල ඇලවෙන පෝස්ටර්වලින්, අතටම ගෙනැවිත් දෙන පත්‍රිකාවලින් අපේක්ෂකයන්ගේ මනාප සිඟමන තව තවත් ඉහළ යනු නිසැකය.
අතමිට සරු නැති පක්ෂවලට විශේෂයෙන් අපේක්ෂකයන්ට මේ ඡන්ද සටනේ පෙරමුණ ගැනීම දුෂ්කරය. අතේ සල්ලි නැත්නම් ගෙයක් ෙදාරක්, වාහනයක් උකස් තබා හෝ සටනට පිවිසීමට අපේක්ෂකයන්ට සිදුවේ. 1956 මහ මැතිවරණයේදී ශ්‍රී ල. නි. ප. නායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ඡන්දයට මුදල් සෙවීමට තමන් පදිංචි නිවෙස වූ ‘රොස්මිඩ් වලව්ව’ උකසට තැබීය. එකල ‘මනාප’ පොරයක් නොතිබුණු අතර තිබුණේ ‘ආසන’ සටනකි. මෙකල තරම් නොවුණද එකලද ‘මැතිවරණ දූෂණ’ සිදුවිය. එතරම් ශක්තිමත් නොවුණද මේ ‘දූෂණ’ පාලනය කිරීමට නීති සම්පාදනය කර තිබිණි. මූල්‍ය හෝ වෙනත් අක්‍රමිකතාවක් මත ඡන්ද ‘පෙත්සමක්’ ඉදිරිපත් කර තේරී පත් වූ මන්ත්‍රිවරයාට ‘ආසනය’ අහිමි කිරීමට ඉඩකඩ පැවැති අතර සියලු අපේක්ෂකයන් මැතිවරණය අවසානයේදී සියලු ‘වියදම්’ ලේඛනයක් මැතිවරණ කොමසාරිස්වරයාට ලබා දිය යුතු විය. මැතිවරණ දූෂණ චෝදනා මත තේරී පත්වූ මන්ත්‍රිවරයකුට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඕනෑම ප්‍රතිවාදී අපේක්ෂකයකුට අවසරය තිබූ නිසා ජනප්‍රිය එසේම බලවත් දේශපාලනඥයන්ට පවා ඡන්ද පෙත්සම් නිසා සිය ‘මන්ත්‍රි අසුන’ අහිමි වූ අවස්ථා ඕනෑතරම්ය.
1947 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහනුවර ආසනය ජයගත් ජෝර්ජ් ආර්. ද සිල්වා ‘පෙත්සමකින්’ පරාජය වීම නිසා පවත්වන ලද අතුරු මැතිවරණයෙන් ටී. බී. ඉලංගරත්න ජය ගත්තේය. ඔහුගේ ප්‍රතිවාදියා වූ ෆෙඩ් ඊ. ද සිල්වා ඡන්ද පෙත්සමක් ගොනු කළ අතර ඉන් ඉලංගරත්නට මන්ත්‍රි අසුන පමණක් නොව හත් අවුරුද්දකට ප්‍රජා අයිතියද අහිමි විය. විශේෂත්වය එය නොව, ඡන්ද පෙත්සම ඉදිරිපත් කළ ෆෙඩ්ගේ ප්‍රජා අයිතියද තුන් අවුරුද්දකට අහිමි කිරීමය. ඒ අන්කිසිවක් නිසා නොව ඔහු ඉදිරිපත් කර තිබූ මැතිවරණ වියදම් ලේඛනයට රුපියල් 25ක වියදමක් ඇතුළත් කර නැති බව අනාවරණය වීම නිසාය.
එහෙත් 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමයට සමගාමීව ඡන්ද පෙත්සම් ඉදිරිපත් කිරීමට ඇති හැකියාවද මැතිවරණ වියදම් පාලනය සඳහා පැවැති නීතිද අහෝසි වී ගියේය. දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන්ට ඕනෑ තරම් මුදලක් මැතිවරණය සඳහා වියදම් කිරීමේ ‘නිදහස’ මේ නිසා හිමි විය. මැතිවරණයට පෙර ලබා දිය යුතු වත්කම් – බැරකම් ප්‍රකාශය හැර මැතිවරණයකදී ආදායම් හා වියදම් පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමසාරිස්වරයාට ලබා දිය යුතු නැත. වත්කම් – බැරකම් ප්‍රකාශන සියලු දෙනා ලබා දිය යුතු අතර මෙවර මැතිවරණ කොමසාරිස්වරයා ඒ පිළිබඳ දැඩි තීරණයක් ගෙන ඇති නිසා තත්ත්වය සාධනීය ලෙස වෙනස් වී ඇත.
පසුගිය ජනාධිපතිවරණයට තරග කළ එක් ප්‍රධාන අපේක්ෂකයකු ඡන්ද පොළ නියෝජිතයන්ට ඡන්දය පැවැති දිනයේදී රුපියල් දසදහසක ‘මුදල්’ කවරයක් ලබා දී තිබුණු අතර 2005 ජනාධිපතිවරණයේදී එක් ප්‍රධාන පක්ෂයක් සිය ආසන සංවිධායකයන්ට රුපියල් දස ලක්ෂයක් බැගින් ගෙවා තිබිණි. 2010 මහ මැතිවරණයට තරග කළ ඇතැම් අපේක්ෂකයන් ලක්ෂ දහස ඉක්මවා වියදම් කළ බව කියැවිණි. මෙවර මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබල අපේක්ෂකයකු සිය ඡන්ද ප්‍රචාරක කටයුතුවලට රුපියල් ලක්ෂ 1,500කට ආසන්න මුදලක් වෙන් කර ඇතැයි දැනගන්නට ඇත. මේ මැතිවරණ වියදම් හා අරමුදල් පාලනය සඳහා නීති සකසන තුරු දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් කැමැති අයගෙන් කැමැති මුදල් ප්‍රමාණයක් ලබාගෙන කැමැති තරම් මුදල් වියදම් කිරීමත් නතර කළ නොහැකිය. වාර්ෂික සමුළුවකටවත් අය – වැය වාර්තාවක් ඉදිරිපත් නොකරන දේශපාලන පක්ෂවලින් මැතිවරණයේ විය – පැහැදම් ගැන වාර්තාවක් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් වැනිය.
පුවත්පත් දැන්වීම්වලට වැඩි මුදලක් රූපවාහිනි – ගුවන්විදුලි දැන්වීම්වලට වැයවේ. තත්පර 30ක රූපවාහිනි දැන්වීමක් සඳහා දළ වියදම රුපියල් ලක්ෂ 3කට අධිකය. ඒ අනුව බලන විට දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ‘ප්‍රචාරය’ වෙනුවෙන් කෙතරම් ධනස්කන්දයක් නාස්ති කරනවාද යන්න මැනගත හැකිය. වැදගත්ම කාරණය වන්නේ මුදල් යහමින් ඇති දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ‘මැතිවරණයේදී’ වැඩි වාසි අත්පත් කර ගැනීම මේ නිසා නොවැළැක්විය හැකි වීමය.
කාරණය අනෙකකි.
විවේචන, දෝෂාරෝපණ, චෝදනා සියල්ල පසෙක තබා ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුව තුළින් පක්ෂ – විපක්ෂ සියලුදෙනා එකතුවී මේ ‘මජර මැතිවරණ සංස්කෘතිය’ට තිත තැබීමට ක්‍රියාකළ යුතුය. ‘පව් නොකළ තැනැත්තා පළමු ගල ගසන්නැ’යි ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කළා සේ ‘වැරැදි’ නොකළ පක්ෂයක් මෙරට ඇත්තේ නැත. ඒ නිසා තවදුරටත් උප්පැන්න සහතික සෙවීම පසෙක දමා ඉදිරියේදී බලාත්මක කිරීමට නියමිත ‘මැතිවරණ කොමිසම’ට සියලු බලතල ලබාදීමට අගතියෙන් තොරව පියවර ගැනීම අත්‍යවශ්‍යය. මේ මජර ක්‍රමය තුළ ඡන්දදායකයන්ට නොව තැන ලැබී ඇත්තේ මුදලටය. මනාප ක්‍රමය අහෝසි කර මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ඇති කළද මුදල්වලට ඇති මේ ‘බලය’ අහෝසි කරන තුරු ජනමතය නිසියාකාරව පිළිබිඹු වන එසේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකිවනු ඇත.
මව්බිම








