එළඹෙන මහ මැතිවරණයේදී ආසන 117 ක් දිනා ගෙන සන්ධානය ජයග්‍රහණය කරන බව තමන්ට සහතික යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
“ස්ථිරවම ආසන 117 ක් බහුතර බලයක් අපි ලබාගන්නවා…” ඔහු පැවසීය.
එසේ ජයග්‍රහණය ලබන්නේ නම්, එවිට ඔහු අගමැති පදවියට පත් කෙරෙනු ඇතිදැයි විමසූ විට සිනහවකින් පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා, “ඒක ඒ වෙලාවට බලා ගමු,” යයි කියා සිටියේය.
‘වැරදි තීන්දුවක්’ : මහින්ද පිළිගනී
තවත් වසර දෙකක් ධුර කාලය ඉතිරිව තිබියදී ජනවාරි 08 වැනි දින ජනපතිවරණය කැඳවීම තමා ගත් ‘වැරදි තීන්දුවක්’ බවද ඔහු පැවසීය.
ජනපතිවරණය කැඳවීම පිළිබඳව දැන් කණගාටු වන්නේ දැයි බීබීසී සංදේශය කළ විමසීමට සිනහවකින් පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා, කණගාටුවක් නොව එය වැරදි තීන්දුවක් බව බොහෝ දෙනා දැන් තමන්ට පවසන බව කියා සිටියේය.
ජ්‍යෝතිෂවේදීන්ගේ උපදෙස් මත එම තීන්දුව ගනු ලැබුවේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ: “නෑ නෑ නෑ එහෙම එකක් නෑ. මොකද අපේ මන්ත්‍රීවරු, ඇමැතිවරුත් කිවුවා ඉක්මනට තියන්න කියල,” යන්නයි.
කොටි සංවිධානයට මුදල් ?
මහින්ද රාජපක්ෂ පරිපාලනය සමයේ, “ගෝඨාභය රාජපක්ෂට බෝම්බ ප්‍රහාරය එල්ල වන තුරු” කොටි සංවිධානයට මුදල් දුන් බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කරන චෝදනාවද හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කරයි.
“මොන විකාරද? එයානේ මුදල් දුන්නේ? මුදල් විතරක් නෙවෙයි එයා දෙන්න තියෙන ඔක්කොම දුන්න. ආයුධ දුන්න ඒ කට්ටිය, ගුවන් විදුලියක් දුන්න. රටත් දුන්න. රට බෙදල දෙන්න ලැස්ති වෙලා තිබුණේ.”
කොටි සංවිධානයට මුදල් දුන් බවට එල්ල වන චෝදනාව “අමූලික බොරුවක්” බව පවසන හිටපු ජනපතිවරයා එම චෝදනාව විග්‍රහ කරන්නේ “ලැබූ ජයග්‍රහණ බාල්දු කිරීමට කරන අවලාදයක් ලෙසිනි.”







