එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනිය වශයෙන් කටයුතු කළ උනා මැකෝලි මහත්මිය ඊයේ (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය.
පසුගිය කාලයේදී අසනීප තත්ත්වය නිසා රාජකාරී කටයුතුවලින් බැහැරව සිටි උනා මැකෝලි මහත්මිය මිය යන විට 54 වැනි වියේ පසුවූවාය.
ඇය අභාවප්‍රාප්ත වන විටදී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක තනතුරට අමතරව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය ද වූවාය.
උනා මැකෝලි මහත්මිය ශ්‍රී ලංකාවට පත්වූ පළමු නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනිය වන අතර මෙරට සිටි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය ද වන්නීය.
මෙරට නේවාසික හා නේවාසික නොවන එක්සත් ජාතීන්ගේ ආයතන 21ක ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කර සිටින එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජිතවරිය වූයේ ද ඇයයි. වසර හයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සේවය කර තිබෙන උනා මැකොලි මහත්මිය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ
නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය වශයෙන් පත්වූයේ මීට වසර දෙකකට පෙරාතුවය. ඊට පෙර ඇය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය වශයෙන් ද කටයුතු කළාය.
එක්සත් ජාතීන්ගේ සංවිධාන පද්ධතිය තුළ වසර 17ක් සේවය කර ඇති උනා මැකොලි මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් පැනමාව, ටොගෝ, ඇන්ගෝලාව, සුඩානය සහ කෙන්යාව යන රටවල ද සේවය කර ඇත








