විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන මෙම නායකත්ව පුහුණු වැඩමුළු තාවකාලිකව අත්හිටුවිමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය මිය යෑමේ සිදුවීම පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වෙන පරීක්ෂණ අවසන් වන තුරු මෙම අත්හිටුව සිදු කිරීමට නියෝග කර තිබේ.
හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය පසුගිය දා කුරුණෑගල වාරියපොළ, වයඹ නායකත්ව පුහුණු කඳවුරේ දී පැවති පුහුණු වැඩසටහනක් අතරතුර හදිසි අනතුරකට ලක්වීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විණි.
විදුහල්පතිවරුන්ගේ පෞරුෂ සංවර්ධනය හා නායකත්ව ගුණාංග ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, විදුහල්පතිවරුන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය සහ අනෙකුත් පහසුකම් පිළිබඳව අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර සිට ම උපදෙස් ලබා දී තිබු බවත් ,එවැනි වටපිටාවක් තුළ සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අදාළ වගකිවයුතු නිලධාරීන්ගෙන් කරුණු විමසීමට ද මේ වනවිට පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
අනතුරින් මිය ගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පති රෝහිණී අතපත්තු මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මීට පෙර රන්ටැඹේ සහ කුඩාඔය පැවති මෙවැනි නායකත්ව පුහුණු වැඩසටහන් දෙකක් සඳහා ද සහභාගී වී ඇති අතර, කෙඩෙට් නිලධාරිණියක ලෙස ද කටයුතු කර ඇති බවද අමාත්‍යාංශය කියයි.
DE සිල්වා








