FAST NEWS

24×7 Around the Globe

රුපියල් මිලියන 4012ක මුදලක් අවභාවිත කළැයි ලේකම්ට වරෙන්තු .

ගිං නිල්වලා  ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කළ මුදලින් රුපියල් කෝටි 401 ක මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියකට අදාළව වාරිමාර්ග හා ජල කළමණාකරන අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ. ඩබ්ලිව්. අයිවන් ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට දන්වමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (12) විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර තිබූ මුදලින් සියයට පහක මුදලක් සැකකරු අවභාවිත කර ඇති බවත් මේ වන විට මෙම සැකකරු විමර්ශනවලින් මග හැර ගොස් ඇති බවත් සඳහන් කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගත් අධිකරණය විසින් මෙම නියෝග ලබා දෙනු ලැබිය.

එසේම සැකකරු ගේ බැංකු ගිණුම් තුනක් පරීක්ෂා කිරීම සඳහා ද අවසරයක් ලබා දෙන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් අවසර ඉල්ලූ අතර ඒ සඳහා ද අදාළ මූල්‍ය ආයතන කළමණාකරුවන් වෙත නියෝග නිකුත් කෙරුණි.

වාරිමාර්ග හා ජල කළමණාකරණ අමාත්‍යාංශය සිදුකිරීමට නියමිතව තිබූ ගිං නිල්වලා යෝජනා ක‍්‍රමය සඳහා සී ඒ එම් සී ඉන්ජිනියරින් සමාගමේ සභාපතිවරයා වූ ලියේ යැං මහතා සමඟ සැකකරු ඉකුත් 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනිදා ගිවිසුමක් අත්සන් කර එම යෝජනා ක‍්‍රමයට වැය වන මුදලින් සියයට පහක මුදලක් වූ රුපියල් මිලියන 4012ක මුදලක් අවභාවිත කළැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධියට අදාළව සැකකරුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා අවශ්‍යව තිබූණද මේ වන විට සැකකරු මෙරටින් පලා ගොස් නවසීලන්තයේ ජීවත් වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද මෙහිදී මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව සැකකරුට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීය.

සිද්ධියට අදාළ නඩුව යළි ලබන මාර්තු මස 26 වැනිදා කැඳවීමට නියමිතව ඇත.