පළාත් පාලන මැතිවරණයේදී සමස්ත සභික ධුරවලින් පහෙන් එකක සංඛ්‍යාවක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබේ.
නව මැතිවරණ ක්‍රමයේ යටතේ පළාත් පාලන ආයතන 340ක සභිකධුර 8,328ක් සඳහා මැතිවරණය පැවැත්විණි. දැනට ප්‍රතිඵල නිකුත් වී තිබෙන සභිකධුරවලින් 1,827ක ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ඉන් බහුතරයක බලය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත.
දැනට නිකුත් කළ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 703,117ක් ලබාගනිමින් සියයට 45.54ක් ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර ඇත්තේ ආසන 909ක් දිනාගනිමිනි.
දෙවැනි තැනට පත්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය දිනා ඇති සභිකධුර සංඛ්‍යාව 466කි. එම පක්ෂය ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 474,010 වන ප්‍රතිශතයක් ලෙස 30.70කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය තෙවැනි තැනට පත්වෙමින් ආසන 138ක් ලබාගෙන ඇති අතර ඇතැම් පළාත් පාලන ආයතනවලට වෙනමම තරග වදිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගෙන ඇති ආසන සංඛ්‍යාව 68කි. එහි එකතුව 206කි.
දැනට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව සභිකධුර සංඛ්‍යාව අනුව සිව්වැනි තැනට පත්ව ඇත්තේ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය වන අතර ඔවුන් දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව 172කි. ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 76,637 වන අතර ප්‍රතිශතයක් ලෙස සියයට 4.96කි.
ජනතා විමුක්ති පෙරමුණ සභිකධුර 74ක් දිනාගනිමින් පස්වැනි තැනට පත්ව ඇත්තේ ඡන්ද 97,577ක් ලබාගනිමිනි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 6.32කි.
පළාත් පාලන ආයතන 341ක් සඳහා මැතිවරණය පැවත්වීමට නියමිතව තිබුණද ඇල්පිටියේ ප්‍රාදේශීය සභාව සඳහා මැතිවරණ නොපැවැත්විණි. එම සභාවේ ආසන සංඛ්‍යාව 28කි.








