FAST NEWS

24×7 Around the Globe

පැපුවා නිව්ගිනි සරණාගතයෝ ඕස්ට්‍රේලියාවේ ගෙවන නව ජීවිත පිළිබඳ සිහින අතහැර දමති

පැපුවා නිව්ගිනිහි රැඳවුම් බාරයේ වෙසෙන සරණාගතයන් ඕස්ට්‍රේලියාවේ ගෙවන නව ජීවිත පිළිබඳ සිහින අතහැර දමා ඇතැයි ඒ ගැන ලියැවුණු විශේෂාංගයක් පෙන්වාදෙයි. තම ජීවිතවල ඉතිරි කොටසත් එහිම ගෙවන්නට වෙතැයි යන සැකය හා සන්තාපය මේ බහුතරයක් දෙනා නිරතුරු පෙලන ගැටලුව වී ඇති බවද එම ලිපිය පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියාවට යන දුර්ග පිරි තරණයේදී ඉන්දුනීසියාව හරහා ක්‍රිස්මස් දූපතටත්, එතැනින් පැපුවා නිව් ගිනියා හෝ ඈත එපිට පිහිටි නාවුරු කුඩා දූපත වැනි සරණාගත කඳවුරුවලටත් ගාල්වී නොවිඳිනා දුක් ගැහැට විඳිමින් වද බන්ධන විඳින විදේශිකයන් ගැන අපි එමට අසා ඇත්තෙමු.

සල්මන් කාන් සහ සාමර් කාන්ගේ කථාව ඊට මඳකට වෙනස් කථාවකි. මේ තරුණයන් දෙදෙනා පැපුවා නිව් ගිනියාවට පැමිණියේ සංචාරක වීසා මඟින් ගුවනිනි. චාරිකා ඒජන්සියෙන් ඔවුන්ට පවසා ඇත්තේ පැවුවා නිව් ගිනියාව යනු ඕස්ට්‍රේලියාවේම කොටසක් බවයි.

“ මං පැපුවා නිව් ගිනියාව ගැන දැනගෙන සිටියේ නැහැ. මගේ යහළුවා කිව්වා, ඉස්සර එහෙ මිනිස්සු මිනීමස් කෑවා කියලා. මං තවත් භයවුණා, දැන් කබලෙන් ළිපට වැටුණා” කියලා සල්මන් කියයි.

බොහෝ රැකවරණ පතන්නන් මෙන්ම මේ දෙදෙනාත් ඔවුන්ගේ ගමන් බලපත්‍ර ඉරාදමා, ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයට ගියහ. එතැනින්, එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනයකටත්, ඔවුන් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා අභියාචනයටත් පෙළඹුණි. එතැනින් ඔවුන් යළිත් පෝර්ට් මොරැස්බි කඳවුරට පෙරළා එවන ලදි. සල්මාන් සහ සාමීර් එතැනින් කුඩා බෝට්ටුවක නැඟී දාරු නමැති කුඩා දිවයිනට විත් එතැනින් තවත් බෝට්ටුවකින් ඕස්ට්‍රේලියානු භූමියට ගොඩ බැසීය. “හොර පාරෙන්” කෙසේ හෝ ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට ඔවුහු තීරණය කරති. ඔවුන් දෙදෙනාත් තවත් අප්‍රිකානු ජාතිකයෙකුත් එක්වී පැපුවා නිව් ගිනියාවේ සිට කිලෝමීටර් 4ක පමණ දුරින් යුත් සායිබායි දූපතට බෝට්ටුවෙන් යෑමට සැලසුම් කරන්නේ එම දූපත ඕස්ට්‍රේලියාවට අයත් බැවිනි.

එහිදීත් ඔවුන් ආගමන නිලධාරින් වෙත යොමු කරන අතර, එහිදීත් ඔවුන්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වේ. එහිදී ඔවුන් කුඩා ගුවන් යානයකින් හෝග් දිවයිනයට ගෙන යයි. ඔවුහු ෆේස් බුක් හරහා ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ විකුණමින් මුදල් සොයා ගත් බවත්, නැවත වරක් බෝට්ටුවෙන් තරණය සඳහා ඒ ඉතිරි මුදලද වියදම් කළ බවත් පවසති. සල්මන් ඇතුළු තිදෙනා කැලයක කුඩා නිවසක සැඟව සිටියදී හමුවන තොටියකු විසින් බගාමා තොටුපළට ඔවුන් ඇරලවීමට පොරොන්දු වෙයි. පැය 16ක පමණ කාලයක් මුහුද ඔස්සේ යාත්‍රා කොට ඔවුහු කේප් යෝර්ක් තුඩුවට ගොඩ බසිති.

පැය ගණනක් වෙරළේ අව්වේ දැවෙමින් රස්තියාදු වන ඔවුන්ට, ටස්මේනියාවෙන් එහි පැමිණි යුවළක් මුණ ගැසේ. ඔවුන්ගෙන් බීමට ජලය ඉල්ලා ගත් පසු එහි සිට පොලීසියට ඇමතුමක් ලබා දෙයි.

බගාමා පොලීසියේ රැයක් ගත කරන ඔවුන්ගේ සරණාගත අභියාචනාව නැවතත් ප්‍රතික්ෂේප වෙයි. එහි සිට ඔවුන් හෙලිකොප්ටරයකින් පෙරළා හෝග් දූපතට රැගෙන එයි.

නැවත වරක් දේශීය ගුවන් යානයකින් සල්මන් සහ සාමර්, කෙයාන්ස් නගරයටත් ඉන් මෙන්බෝන් නගරය වෙතත් පැමිණෙති. එහිදී සරණාගතයින්ට යුක්තිය ඉටු කරන්නැයි බලකරන විරෝධතා ව්‍යාපාරයකට ඔවුහු සහභාගි වූහ. මැනුස් දූපතේ රඳවා සිටින, ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ඒමේදී අත්අඩංගුවට ගත් දහස් ගණනක් නිදහස් කරන්නැයි එහිදී ඔවුන් දෙදෙනාද හඬ නැඟූහ.

මාස හතක් නීති විරෝධීව මෙල්බෝන් නගරයේ ජීවත් වූ ඔවුන් යළිත් වරක් ඔවුන් පැතූ නව ජීවිතය ආරම්භ කර යම් ආදායමක් උපයන්නට පටන් ගත්හ.

“ අපි කිසිම නීති විරෝධී වැඩක් කළේ නැහැ. කලබල කළේ නැහැ. බස්/දුම්රිය ගාස්තු ගෙව්වා. අපේ කෑම-බීම, ඇඳුම් ආදිය අපි මිලට ගත්තා” සල්මන් පවසයි.

ඔවුන්ගේ නවාතැනට ඕස්ට්‍රේලියානු දේශසීමා පොලීසිය කඩා වැදීමත් සමඟ අලුත් ජීවිතයේ බලාපොරොත්තු යළි බිඳ වැටුණි. නැවතත් ඔවුන් පෝර්ට් මොරැස්බි සරණාගත කඳවුර වෙත ගුවනින් රැගෙන යන ලදි.