FAST NEWS

24×7 Around the Globe

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට ගැනේ..

සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියට ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (01 දා) අත්අඩංගුවට ගෙන ඇත.

ලසන්ත ඝාතන සිද්ධියට අදාළ රහසිගත තොරතුරු රැසක්‌ වසන් කිරීම, සාක්‍ෂි විනාශ කිරීම, විමර්ශන නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම ඇතුළු චෝදනා රැසක්‌ සැකකාර හිටපු පොලිස්‌ පරීක්‍ෂකවරයා වෙත එල්ල වී ඇති බව වාර්තා වේ.

එ අනුව සැකකාර තිස්‌ස සුගතපාල මහතාව පැය 48 ක්‌ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.

පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාල මහතා අවස්‌ථා කිහිපයකදීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඒ මහතා එහි පෙනී සිටි නොමැති අතර ඒ අනුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ (01 ) ඒ මහතාගේ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

2009 වර්ෂයේ ජනවාරි 08 වැනිදා ලසන්ත වික්‍රමතුංග මහතා සිය මෝටර් රථයෙන් යමින් සිටියදී ගල්කිස්‌ස අත්තිඩිය මලගල කනිෂ්ට විද්‍යාලය ඉදිරිපිටදී නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් ඔහු ඝාතනය කර තිබිණි.

එවකට තිස්‌ස සුගතපාල මහතා අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

2009 වර්ෂයේ ජනවාරි 16 වැනිදා සැකකාර පොලිස්‌ පරීක්‍ෂකවරයා ලසන්ත ඝාතන සිද්ධියට අදාළ සාක්‍ෂි රැසක්‌ විනාශ කර දැමූ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති බවත් පැවසෙයි.

DE සිල්වා