FAST NEWS

24×7 Around the Globe

නි.ඇමති රංජන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට යයි..

අධිකරණයට අපහාස වන අයුරින් අදහස් පළ කළ බවට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දුන්නේය.

අදාළ පෙත්සම සිසිර ද අබෲ, නලින් පෙරේරා සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (22) යළි කැඳවූ අවස්ථාවේදී නාවාන මහතා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය අගෝස්තු මස 21 වන දිනයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අධිකරණයට අපහාස වන අයුරින් මෙසේ ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා කරමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු පිරිසක් රංජන් රාමනායකට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබේ.

විනිසුරුවරුන් බහුතරයක් දූෂිත බවට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක කළ ප්‍රකාශය ඇතුලත් හඬ පටය අදාල මාධ්‍ය ආයතනයෙන් මේ වනවිට ලැබී ඇති බවත් ,එය මෙම පෙත්සම සලකා බලන විනිසුරුවරුන්ට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයාගේ අධ්‍යයනය සඳහා යොමු කරන බවඅතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කර සිටියේය.

එ අනුව නීතිපතිවරයාගේ අධ්‍යයනයෙන් පසුව රංජන් රාමනායකට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම අධිකරණය වෙත දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් එ සඳහා කාලය ලබාදෙමින් මෙම පෙත්සම මාර්තු මස 23 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළහ.

DE සිල්වා