FAST NEWS

24×7 Around the Globe

කඩවත සිට කෙරවලපිටිය දක්වා පිටත වටරවුම් මාර්ගය 2019 දී අවසන් කෙරේ..

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අවසාන අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා මාර්ග කොටසේ ඉදිකිරීම් එළැඹෙන 2019 වසර ඇතුළත නිම කිරීමට හැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝමීටර්9.3 න් යුත් මෙම මාර්ගය මංතීරු හතරකින් යුතුව නිම කෙරෙන අතර ,මේ වනවිටද මාර්ගයේ ඉදිකිරීම් සීයයට 50 කින් පමණ වැඩ අවසන් වී තිබේ.

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට කොට්ටාවෙන් සම්බන්ධ කෙරෙමින් ආරම්භ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගය කඩුවෙල කඩවත පසුකර කෙරවලපිටියෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා සම්බන්ධ කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම මාර්ග කොටස නිම කිරීමෙන් පසු කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පැමිණෙන රථවාහනවලට කොළඹ නගරයට ඇතුළු නොවී කෙරවලපිටියෙන් පිටත වටරවුම් අධිවේගී මාර්ගයට ඇතුළු වී මාතර දක්වාම ගමන් කිරීමේ හැකියාව ලැබෙන බව සභාපති නිහාල් සූරියආරච්චි මහතා වැඩි දුරටත් පැවැසීය.

DE සිල්වා