FAST NEWS

24×7 Around the Globe

කෘෂිකර්මාන්තයට නිසි බුහුමන පුදන තෛපොංගල් උළෙල ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතවීම කරා යාමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන්නක්

කෘෂිකර්මාන්තයට නිසි බුහුමන පුදන තෛපොංගල් උළෙල ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතවීම කරා යාමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන්නක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) දිනට යෙදෙන තෛපොංගල් උත්සවය නිමිත්තෙන්  සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සම්පූර්ණ සුභපැතුම් පණිවුඩය,

ලෝක වාසී හින්දු ජනයා සොබාදහම වෙත සිය කෘතඥතාවය පළ කරනු වස් සමරන තෛපොංගල් උළෙළ නිමිත්තෙන් සුභපැතුම් එක්කරන්නට ලැබීම පිිබඳ මා බෙහෙවින් සතුටට පත්වෙමි.

මිනිස් සංහතිය ශිෂ්ටත්වය කරා පැමිණි ගමනේදී, කෘෂිකර්මාන්තය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව නොරහසකි. වත්මනෙහි දක්නට ලැබෙන කාර්මික හා තාක්ෂණික දියුණුව හමුවේ ගැමි ප්‍රජාව ගොවිකම අතහැර නගර කරා ඇදී යමින් සිටින පසුබිමක වුව, අතීත සම්ප්‍රදායන් සුරැකීමටත්, එය සැමරීමටත් නිමිති සපයන තෛපොංගල් උත්සවය, මිනිස් සමාජයේ සංස්කෘතිය, සදාචාරය, මනුෂ්‍යත්වය, සමගිය හා සංහිඳියාව, බෙදා හදා ගැනීමට ඇති ලැදියාව මෙන්ම මිනිසා තුළ පවතින සත්ත්ව කරුණාව වැනි ගුණාංග තව තවත් සමාජය තුළ තහවුරු කරලීමට මඟ සාදයි.

කෘෂිකර්මාන්තයට නිසි බුහුමන පුදන තෛපොංගල් උළෙල ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතවීම කරා යාමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අතරම එයට ශක්තිය සපයන අවස්ථාවක් වශයෙන් ද සැලකීමට කැමැත්තෙමි.

හින්දු ධර්මය අනුව දිවි ගෙවන දෙමළ ජනයා, තෛපොංගල් ‍සමය ඔවුන්ගේ නව වසරක උදාව ලෙසත්, නව අවස්ථා උදාකරන වසරේ ශුභාරම්භය ලෙසත් සලකති. එවන් සුබ මොහොතක අප රටේ මෙන්ම විදෙස් රටවල ද තෛපොංගල් සමරන හින්දු ජනයාගේ ජීවිත අර්ථවත් හා සෞභාග්‍යමත් වේවායි ප්‍රාර්ථනා කරන අතර, කෘෂි සංස්කෘතියේ ගැඹුරු හරයන් යළි යළිත් අප වෙත සමීප කරමින් තෛපොංගල් උළෙල සමරන බැතිමතුන් සමඟ එක්වෙමි.

මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති