FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ නිළ කාලය 06 යැයි නීතිපති කියද්දි නීතිඥවරු 07 ක්ම විරුද්ධ වෙති..

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ රෙගුලාසිවලට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය ධුරය දැරිය හැකි කාලසීමාව  වසර 05 ක්‌ද, නැත්නම් 06 ක්‌ද යන වීමසිමට අදාළව නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණුවලට ඊයේ (11 ) සවන් දුන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් තවත් කරුණු ඇත්නම් ඒවා ලිඛිතව අද (12) දහවල් 12 ට පෙර විද්යුත් තැපෑලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වෙත ගොනු කරන ලෙස එම නීතිඥවරුන් සියලු දෙනාටම දැනුම් දුන්නේය.

විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් දරණ මතය ඊට පසුව එනම් ලබන 14 දාට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වා යැවීමට නියමීතය.

විනිසුරු මඬුල්ල හමුවේ පළමුව කරුණු ඉදිරිපත් කරමීන් නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා අවධාරණය කර සිටියේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කිසිදු බාධාවකින් තොරව එම ධුරයේ ඔහු දිවුරුම් දුන් 2015 ජනවාරි 09 දා සිට ඉදිරියට වසර 06 ක කාලසීමාවක්‌ ධුරය දැරීමට නීතියෙන් අයිතියක්‌ ඇති බවය.

එසේම ජනාධිපතිවරයාට වසර 06 ක්‌ සිය ධුරය දැරිය හැකි බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්‌තාපා මහතා ද, දූෂණ විරෝධී කමිටුවේ සභාපති උලපනේ සුමංගල හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්‌ මහතාද කරුණු දැක්‌වූහ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ධුර කාලසීමාව වසර 05 කින් අවසන් විය යුතු බව කියා සිටිමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරු 07 දෙනෙක්‌ මෙහිදි කරුණු දැක්‌වූහ.

එ අනුව ජනාධිපති නීතිඥවරුන් වන මනෝහර ද සිල්වා, අලි සබ්රි, සවින්ද්‍ර ප්‍රනාන්දු, උදිත ඉහළහේවා යන මහත්වරු සහ අධිනීතිඥ විරාන් කොරයා, කල්‍යානන්ද තිරාණගම, ක්‍රිස්‌මාල් වර්ණසූරිය යන මෙහදි කරුණු දැක්වුවෝ වෙති.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් හා ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ. ටී. චිත්‍රසිරි, සිසිර ද ආබෲ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම විභාගය පැවැත්විණි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට භාජනය වූ එකී ප්‍රශ්නය යොමුකර තිබුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම පැවරී තිබූ අයිතියකට අනුව බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමීන් ප්‍රකාශ කළේය.

DE සිල්වා