රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩකොළ අදාළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රමවේදය පෙබරවාරි මාසයේ දී අත්හදා බැලීමට කටයුතු කරන බලන බව, රථවාහන පොලිස් නිලධාරීන් සඳහා ජාතික රතුකරුස සංගමයේ අනුග්‍රහයෙන් පවත්වන ප්‍රථමාධාර වැඩසටනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
දඩ කොළ නිකුත් කිරීම සඳහා නූතන තාක්ෂණය භාවිත කරන වැඩපිළිවෙලක් සාදන බවත් විශේෂයෙන්ම රථවාහන නීති උල්ලංඝනය කිරීම්වලදී තාක්ෂණය භාවිත කිරිමට සැලසුම් සකස්කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
එ අනුව වරද සිදුකරනු ලබන අවස්ථාවේ ඡායාරූපයක් සමඟ වරද කුමක්ද යන්න දඩ කොළය ගෙදරට යවන ක්‍රමය ලබන පෙබරවාරි මාසයේ දී අත්හදා බැලීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
“අපිට එතකොට නිලධාරීන් රථවාහන රාජකාරි සඳහා යෙදවීම අඩු කරන්න පුළුවන්. ඒ වගේම මම පොලිස්පතිතුමාට උපදෙස් දුන්නා රථහාවන කොට්ටාසයේ නිලධාරීන් සේවය කරන ස්ථානයේ ඇති දුෂ්කරතාව අනුව ඔවුන්ට දීමනාවක් දෙන්න කටයුතු කරන්න කියලා. ඒ දීමනාව දඩ පත්‍රිකාවලින් එකතු වෙන මුදල්වලින් ගෙවන්න පුළුවන්. මම ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමතය ඉල්ලන්න සූදානම්. ඒකට පසුබිම සකස්කරලා දෙන්න කියලා මම කියලා තියෙනවා.
වාහන අනතුරු නිසා දිනකට ජීවිත දහයක් විතර නැතිවෙනවා. මේ අනතුරු වලින් ජීවිත නැතිවීමේ ප්‍රමාණය තවත් වැඩි වෙනවා අනතුරට ලක්වුණු තුවාල කරුවන් රෝහලට ප්‍රවාහනය කරන ආකාරය අනුව. සහරවිට බේරගන්න පුළුවන් ජීවිත පවා නැතිවෙනවා. මේ කරුණු කාරණා නිසා තමයි අපි මේ පිළිබඳ පුහුණුවක් ලබා දෙන්න කටයුතු කළේ. අපි මේකට මුලින්ම පොලිස් නිලධාරීන් සහ ත්‍රීරෝද රථ රියදුරන් මුලින්ම තෝරා ගත්තේ රියඅනතුරක් වෙලාවේ දී තුවාලකරුවන් රොහල්වෙත ගෙනයාමට මුලින්ම දායක වෙන්නේ ඒ පිරිස් නිසා.
රථවාහන පොලීසියේ නිලධාරීන් පුදුම දුකක් විඳින නිලධාරීන් පිරිසක්. ඔවුන්ට අව්ව , වැස්ස කියලා පැත්තකට වෙලා ඉන්න බැහැ. වතුර ගලනවා කියලා පැත්තකට වෙලා ඉන්න බැහැ. මම ඒ නිලධාරීන්ට මගේ ප්‍රශංසාව පුද කරනවා. ඒ වගේම ඔවුන්ට මම කියනවා තවදුරටත් ඒ සේවය ජනතාව වෙනුවෙන් හොඳින් ලබා දෙන්න කියලා. අද කොළඹ නගරයේ විශාල රථවාහන තදබදයක් තියෙනවා. මේතරම් වාහන ප්‍රමාණයකට කොළඹ නගරය සැලසුම් කරලා නැහැ. ඒ සඳහා වැදගත්ම දේ තමයි රියදුරන්ගේ විනය ඇති කිරීම.
අපි විනය ඇතිකරන්න දඩ කොළයක් දුන්නාම පොලිස් නිලධාරීන් බැණුම් අහන්න ඕන රියදුරන්ගෙන්. ඊට පස්සේ වීඩියෝ කරලා ෆේස්බුක් දාල තවත් බනිනවා. කවුරු වැරදි කරලා තිබුණත් හැම වෙලාවෙම බැණුම් අහන්නේ පොලිස් නිලධාරියා. නමුත් මම පොලිස් නිලධාරීන්ගෙන් එක දෙයක් ඉල්ලනවා. ඒ තමයි කවුරු මොන කතා කිව්වත් තමන්ගේ රාජකාරිය වෘත්තිය මට්ටමකින් කරන්න කියන දේ . කවුරු මොනවා කිව්වත් ඒවාට උත්තර දෙන්න නොයා නිශ්ශබ්දව අදාළ වැරුද්දට සරිලන දඩ කොලය දෙන්න.
ඔබ රාජකාරිය ඉහළ මට්ටමකින් කරනවා නම් අපි සූදානම් ඔබව රැකගන්න. ඒක තමා අපේ රජයේ ප්‍රතිපත්තිය “
DE සිල්වා








