අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ද, බැංකු නිලධාරින් සහ වෙනත් බාහිර පුද්ගලයින්ගේ ද සහභාගිත්වය හරහා පර්පචුවෙල් ටේරෂරීස් සමාගම විසින් නිත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මුලික කරගනිමින් ඊයේ (03) පස්වරුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැදුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බවද වාර්තාවේ සදහන් වේ.
මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වගකීම විධිමත් බවත් පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී අගමැතිවරයා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සදහන් වෙන බවත් අගමැතිවරයා එසේ නොකළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඞ් රෝ සමාගම විසින්, පෙන්ට්හවුස්, තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබදව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සදහන් වෙන බවත් ඔහුට විරුද්ධව අල්ලස් දූෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
තමා විසින් දැනටමත් වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙත භාරදී තිබෙන බවත් එතුමා විසින් නීතිමය වශයෙන් කි‍්‍රයාකළ යුතු අය හඳුනාගෙන නිසි කි‍්‍රයාමාර්ග අපරාධ හෝ සිවිල් කටයුතු සම්බන්ධයෙන් ගැනීමට කටයුතු කරනු ඇති බවත් ජනාධීපතිවරයා පැවසී ය.
තමාට බාරදුන් කොමිසන් සභා දෙකේම පරීක්ෂණ කටයුතු, නිර්දේශ හා එම තොරතුරු මත ඉදිරියේදී කි‍්‍රයාකිරීමේදී නීතිමය කි‍්‍රයාමාර්ගවලදී හා නඩු පැවරීමේදී ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම පුද්ගලයින් වගඋත්තරකරුවන් බවට පත්වී තිබෙන බව විශේෂයෙන් සදහන් කළ යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද විශේෂ ප‍්‍රකාශය
ඔබ සියලූදෙනාට තෙරුවන් සරණයි.
ලැබූ 2018 නව වසර සියලූදෙනාට සමෘද්ධිමත් වාසනාවන්ත නව වසරක් වේවා කියා මම මුලින්ම ප‍්‍රාර්ථනා කරනවා. අද රටේ ජනතාවගේ වැඩි අවධානයකට යොමූ වී, සාකච්ඡාවට ලක්වී තිබෙන, එමෙන්ම ඉතා ඕනෑකමින් බලා සිටින ශී‍්‍ර ලංකා මහ බැංකුව බැදුම්කර නිකුත් කිරිමේදී 2015 සහ 2016 කාලසීමාව තුළ අක‍්‍රමිකතා සහ දූෂණ සිදු වූ බවට ඇතිවූ චෝදනා, පැමිණිලි සහ ජනමතය සැලකිල්ලට ගෙන මා විසින් පත්කරනු ලැබූ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව සහ ඊට අදාළව ඉදිරියේ කි‍්‍රයාත්මක කළයුතු නිර්දේශ 2017-12-30 වන දින ඉහත කී කොමිසන් සභාව විසින් මා වෙත භාර දෙනු ලැබුවා.
බැදුම්කර නිකුත්කිරීම සම්බන්ධව විමර්ශන හා පරීක්ෂණ කිරීමට එම කොමිසන් සභාවට බලය, වරය ලැබුණේ 2015 පෙබරවාරී 01 දා සිට 2016 මාර්තු 31 දක්වා කාලය පිළිබදවයි. එකී කොමිසන් සභාවේ කාර්යය වූයේ අදාළ කරුණු සොයා ගැනීම, නිගමනයන්ට එළැබීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීමයි. කොමිසන් සභාවේ කොමසාරිස්වරු ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමාලාටත්, කොමිසන් සභාවේ කොමසාරිසවරයෙක් ලෙස කටයුතු කළ රජයේ විගණන දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික විගණකාධිපතිතුමාටත්, ඒ වගේම කොමිසන් සභාවේ ලේකම් ඇතුලු සියලූ කාර්ය මණ්ඩලවලටත්, මෙම කොමිසන් සභාවට සහය දුන් පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ අනෙකුත් ආයතන සංවිධාන, පුද්ගලයින් ආදී සියලූදෙනාට මම මාගේ ස්තූතිය පුද කරනවා.
මෙම කොමිසන් සභා වාර්තාවලින් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වය 2008 වසරේ සිට සිදුව ඇති බව කොමිසන් සභාවේ අදහසයි. එම කටයුතු සොයා බැලීම සදහා එනම් 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබදව මුලින්ම කළ යුත්තේ වෝහාරික විගණනයක් බවත් එය ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කළ යුතු අතර, ඉන් පසු ලැබෙන තොරතුරු මත නීතිමය කි‍්‍රයාමාර්ගවලට යා යුතු බවත් කොමිසම දන්වා සිටිනවා.
වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිසන් සභාව සදහන් කරනවා. 2015-2016 කටයුතු සම්බන්ධව කොමිසම ඉදිරිපත් කර ඇත්තේ අතුරු වාර්තාවක් නොව පිටු 1257 කින් පමණ යුත් සම්පූර්ණ වාර්තාවක්. කොමිසමට මෙම කටයුතු සදහා මාස දහයක කාලයක් කටයුතු කිරීමට සිදු වූ බව ඔබ දන්නවා.
මෙම වාර්තාව මේ වන විටත් නීතිපතිතුමා වෙත මා විසින් භාරදී ඇති අතර ඉදිරියේදී වාර්තාවේ නිර්දේශ මත අපරාධ සහ සිවිල් නඩු පැවරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් දුෂණ විමර්ශණ කොමිසම හරහා සිදු විය යුතු බව කොමිසන් වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
මහ බැංකු ව්‍යුහය, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඝෘජු බැදුම්කර නිකුතුවේ සහ බැදුම්කර වෙන්දේසියේ වාසි සහ අවාසි වාර්තාවේ පැහැදිළි කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ද, බැංකු නිලධාරින් සහ වෙනත් බාහිර පුද්ගලයින්ගේ ද සහභාගිත්වය හරහා පර්පචුවෙල් ටේරෂරීස් සමාගම විසින් නිත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇති බව මෙහි සදහන් වෙනවා.
2015 පෙබරවාරි මස 27 වන දින පැවත්වූ වෙන්දේසියෙන් පමණක් පර්පචුවල් ටේරෂරීස් සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 688කට වැඩි ප‍්‍රමාණයක් බව සදහන් වෙනවා. මෙම පරීක්ෂණ කාලසීමාව තුළ සොයාගත් තොරතුරු මත මීට වැඩිවීමක් ද සිදුවිය හැකි බව කොමිසන් සභා වාර්තාවේ වෙනවා.
පරීක්ෂණයේදී හෙළි වූ තත්ත්වයන් අනුව ද්විතීය වෙළෙදපොළේ ගනුදෙනුවලින් පර්පචුවල් ටේරෂරීස් සමාගම ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145 ක් වන අතර ඒ අතරින් සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන් 8,529 ක හෙවත් බිලියන් 8.5කට වඩා වැඩිවන බව වාර්තාවේ සදහන් වෙනවා.
මහ බැංකුවේ හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අකී‍්‍රයශීලි වී ඇති බවත් වාර්තාවේ සදහන් වෙනවා. ඔවුන් කිසිම ප‍්‍රශ්න කිරීමකින් තොරව එසේ අකී‍්‍රයවීම නිසා සාවද්‍ය ස්ථාවරයන්ට එළැඹී ඇතැයි විශ්වාසය පළකළ හැකි බව කොමිසන් සභා වාර්තාවේ සදහන්.
මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැදුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බවද වාර්තාවේ සදහන් වෙනවා. මෙම කි‍්‍රයාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා.
මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබදව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බවත් වාර්තාවේ සදහන් වෙනවා. පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී ගරු අග‍්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සදහන් වෙනවා. අග‍්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සදහන් වී තිබෙනවා. මෙම කරුණු කෝප් කමිටුව ඉදිරියේද තිබූ හෙයින් මහේන්ද්‍රන් මහතා සම්බන්ධ විධිමත් පියවර නොගත් බවට එතුමා පැහැදිලි කර තිබෙන බව කොමිසන් වාර්තාව සදහන් කරනවා.
ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඞ් රෝ සමාගම විසින් ,පෙන්ට්හවුස්, තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබදව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සදහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් දූෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බව මෙම වාර්තාවේ සදහන් වෙනවා.
සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවත්, නියම මුදල් ප‍්‍රමාණය සොයා ගැනීම සදහා වෝහාරික විගණනයක් හා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සදහන් වෙනවා.
අදාළ පාර්ශ්වයන්ගේ කි‍්‍රයාමාර්ග හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයට මගපෑදි ඇති අතර, මීට අදාළ පුද්ගලයින් වාර්තාවේ හදුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව කි‍්‍රයාකළයුතු බව කොමිසන් වාර්තාව සදහන් කරනවා. දඩුවම් ලබාදීම සදහා පර්පචුවල් ටෙෂරිස් සමාගම අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිහේන යන මහත්වරුන් සහ වාර්තාවේ හදුනාගෙන ඇති අන් වගකීම් දරන නිලධාරින්ට එරෙහිව අපරාධ හා සිවිල් නීති කෘත්‍යයන්ට එළැඹීමට යෝජනා කරන අතරම රජයට වූ අලාභය අය කර ගැනීමට ද කි‍්‍රයාකළයුතු බව කොමිසන් සභාවේ සදහන්. ඒ සදහා නීතිමය ප‍්‍රතිශෝධන කිරීමත් සිදුවිය යුතුව තිබෙනවා.
මෙහිදී විශේෂයෙන් සදහන් කරනවා ශ‍්‍රී ලංකා මහ බැංකුව තුළ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සදහා කොමිසන් සභාවේ වර්තමාන නිර්දේශයන්ට බලපාන ආකාරයටත්, පැරණි පනත අහෝසිකර නව මුදල් නීතියක් සකස් කළයුතු බව සහ ලියාපදිංචි කොටස් සුරැකුම්පත් ආඥා පනත නව නීතියක් මගින් වෙනස් කළයුතු බව. මුදල් මණ්ඩල සාමාජිකයන් සහ මහ බැංකු අධිපති පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ එකගතාවය මත කළයුතු බව ඒ සදහා අදාළ රෙගුලාසි වෙනස්කළ යුතු බවත් සදහන් වෙනවා.
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාකාරිත්ව දැඩි අධීක්ෂණයට ලක්කළ යුතු බව සදහන් වෙනවා. මහ බැංකුවේ විගණන කටයුතු නිසි ආකාරයෙන් සිදු නොවන හෙයින් විගණන අංශය සහමුලින්ම ප‍්‍රතිසංවිධානය කළයුතු බව නිර්දේශවල සදහන් වෙනවා. මහ බැංකුවේ නීති දෙපාර්තමේන්තුවක් පිහිටුවා එය වඩාත් කාර්යශූර බවට පත්කළයුතු බව ද වාර්තාවේ සදහන්.
2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැදුම්කර පිළිබදව පරීක්ෂා කිරීමට මෙම කොමිසමට වරයක් නොතිබුණු හෙයින් එවැන්නක් සිදු නොකළ ද, ඒ ගැන පරීක්ෂා කිරීම සුදුසු බවට කොමිසම නිර්දේශ කරනවා.
පෑන් ඒෂියා බැංකුව සමග සිදුකර ඇති ගනුදෙනු සහ එහි කලින් සිටි සභාපතිවරයාගේ කි‍්‍රයාකලාපය ද පරීක්ෂාවට ලක්කළ යුතු බව කොමිසමේ නිර්දේශයයි. සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු විධිමත් පරීක්ෂණයකට ලක් කළයුතු අතර, එම දෙපාර්තමේන්තුවේ කාර්යයන් නිසි මගකට ගෙන ඒම සදහා ප‍්‍රතිශෝධනය කළයුතු බවද සදහන්. මහ බැංකු නිලධාරින්ට ආචාරධර්ම සංග‍්‍රහයක් හදුන්වාදීමත්, ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගේ ආචාරධර්ම සංග‍්‍රහය යථාපූර්ණ කිරීමත් සිදුකළයුතු බව කොමිසන් සභාවේ අදහසයි.
නීතිපතිතුමා සහ අල්ලස් හා දූෂණ කොමිසන් සභාව මගින් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සදහා අවශ්‍ය පරිදි කටයුතු කළයුතු බව මෙහිදී පැහැදිලි කරදී තිබෙනවා. සාමාන්‍යයෙන් අදාළ මුදල් අයකර ගැනීම් සිවිල් නීති කෘත්‍යයන් මගින් ඉටුකරගත හැකියි. එහෙත් එය කල්ගතවන කි‍්‍රයාමාර්ගයක්. විකල්පයක් ලෙස මෙම මුදල් අය කර ගැනීමට පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු සම්මතයෙන් පසු වේගවත්ව අදාළ මුදල් අය කර ගැනීමේ හැකියාවක් ඇති බව කොමිසම යෝජනා කර තිබෙනවා. අප ඒ සදහා එකග වෙනවා.
කොමිසම පවත්වාගැනීම සදහා දරන ලද සියලූම පිරිවැය පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් අයකරගත යුතු බව ද කොමිසමේ නිර්දේශයයි. මා විසින් දැනටමත් වාර්තාවේ පිටපතක් ගරු නීතිපතිතුමා වෙත භාරදී තිබෙනවා. එතුමා විසින් නීතිමය වශයෙන් කි‍්‍රයාකළ යුතු අයවථන් හදුනාගෙන නිසි කි‍්‍රයාමාර්ග අපරාධ හෝ සිවිල් කටයුතු සම්බන්ධයෙන් ගැනීමට කටයුතු කරනු ඇති.
කොමිසමේ නිර්දේශවලට අදාළ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ කළයුතු සුථ සංශෝධනයක් පැහැදිලි කළයුතුව තිබෙන බව දන්වා සිටිනවා. ඒ සම්න්ධයෙන් මේ වන විටත් කෙටුම්පත් සකසා නීති කෙටුම්පත් නිලධාරින් එම කටයුතු කඩිනම්න් සිදුකිරීම කි‍්‍රයාත්මක වන බව මා මෙහිදී සදහන් කරනවා.
අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව ශක්තිමත් කර එහි කටයුතු කඩිනමින් කාර්යක්ෂම කිරීම මේ සදහා මීට බොහෝ කලකට පෙර කළයුතුව තිබූ දේ දැන් අප විසින් ආරම්භ කර තිබෙනවා.
ශී‍්‍ර ලංකා මහ බැංකුවේ රහස්‍ය බව, විධිමත් බව විගණන කටයුතු පිළිබ`ද තිබී ඇත්තේ ඉතා දුර්වල තත්ත්වයක්. ටෙලිෆෝන් රෙකෝඩින් හෝ නව සීසීටීවී කැමරා ක‍්‍රම කිසිවක් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ තිබී නැහැ. එම දුර්වලතා මහහැරීමට වර්තමාන අධිපතිවරයා මේ වන විටත් කටයුතු කර තිබෙනවා.
මෙම කොමිසන් සභාවේදී හෙළිවූ කරුණු මත මහ බැංකුවේ සේවකයින් කිහිපදෙනෙකුගේ ඉහත කාලය තුළ සේවය තහනම් කර විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහ බැංකු අධිපතිතුමා දන්වා තිබෙනවා. කොමිසන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශී‍්‍ර ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඉදිරි දිනවල මහබැංකු අධිපතිතුමා විසින් ප‍්‍රකාශයක් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මහ බැංකුවේ මෙවැනි දූෂණ, වංචා හා අක‍්‍රමිකතා ඉදිරියේදී සිදු නොවීමට කොමිසම විසින් නිර්දේශ කර ඇති නව පනත් 3ක් කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙස නීතිපතිතුමා සහ අධිකරණ අමාත්‍යාංශයෙන් මම ඉල්ලා සිටිනවා. අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම සහ කොමිසමේ සියලූ නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව, ප‍්‍රමාදයකින් තොරව කි‍්‍රයාත්මකවීම පිළිබදව අදාළ අංශ ප‍්‍රධානින් සමග මසකට වරක් ප‍්‍රගති සමාලෝචනයක් කිරීමට මගේ ලේකම්වරයාට දැනුම් දී ඇති බව මෙහිදී මා වැඩිදුරටත් සදහන් කරනවා.
සිදුවී ඇති අලාභය වන රුපියල් මිලියන 11,145 කට වැඩි මුදල් ප‍්‍රමාණය නැවත අය කර ගැනීමටත්, වැරදිකරුවන්ට දඩුවම් පැමිණවීම සදහා නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමටත් කිසිසේත් මම පසුබට නොවන බව මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුයි.
සේවක අර්ථසාධක අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අරමුදල, ශී‍්‍ර ලංකා රක්ෂණ සමාගම, රක්ෂණ සංස්ථාවේ අරමුදල් ඇතුථව මෙම සිද්ධියෙන් රජයට අහිමිවී ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 8,529 ක් හෙවත් බිලියන 8.5ට වැඩිවෙනවා. සමාගම ලාභ ලෙස ඉපැයූ මිලියන 11,145න් ඉතිරි මුදල් පෞද්ගලික අංශයට අයත්. පර්පචුවල් ටේරෂරිස් සමාගම මෙම අතිවිශාල මුදල හෙවත් ලබා ඇති මිලියන 11,145ක් වන ලාභය ලබා ඇත්තේ මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ බව ද සදහන්.
අවසාන වශයෙන් විශේෂයෙන් කිවයුත්තේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව මහජනයාට විවෘත වාර්තාවක් බවට පත්කිරීමටත්, අදාළ කටයුතු විධිමත්ව හා නීත්‍යානුකූලව සිදුකිරීමටත් නීතිපතිතුමාගේ උපදෙස් අනුව ඉදිරියේදී කඩිනමින් ඒ අවශ්‍ය කටයුතු සිදුවන බව.
වග උත්තරකරුවන්ට නඩු පැවරීමේදී එම නඩුවලට අවාසි සහගත නොවන ලෙස මෙම කොමිසන් සභා වාර්තාවේ කරුණු විවෘතභාවය පිළිබ`දව සැලකිලිමත්විය යුතු බවද කාරුණිකව මම මෙහිදී සදහන් කරනවා.
ඒ වගේම මෙම කොමිසන් සභාවට අදාළ නොවන විශේෂයෙන්ම මීට පෙර මා විසින් පත්කරන ලද තවත් කොමිසන් සභාවක වාර්තා, එම කටයුතු අවසන් වී මා වෙත භාරදී තිබෙනවා. ඒ බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාවයි මෙම කොමිසන් සභාව වසර දෙක හමාරක කාලයක් කටයුතු කර තිබෙනවා. එම කොමිසමේ කටයුතු කළ සියලූ මහාධිකරණ විනිසුරුතුමන්ලා ඇතුලු ලේකම් සහ කාර්ය මණ්ඩලයටද ඒ සදහා සහය දුන් සියලූ ආයතනවලට මාගේ ස්තූතිය පිරිනමනවා.
මෙම කොමිසමේ වාර්තා 34ක් මේ වන විට මා වෙත භාරදී තිබෙන අතර පසුගිය මෑත දිනක වාර්තා 17 ක් භාරදී තිබෙනවා. ඊට පෙර 17ක් භාරදී තිබෙනවා. පෙර භාරදුන් 17ම මම නීතිපතිතුමාට භාරදී තිබෙනවා, අදාළ ආයතන විසින් කටයුතු කිරීමට. එම වාර්තා පිළිබද අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාව සහ අනෙකුත් ආයතන, දෙපාර්තමේන්තු, පොලීසිය නඩු පැවරීම් මේ වන විටත් සිදුකර තිබෙන අතර, මීට දින දෙකකට පෙර භාරදුන් වාර්තාව අපි මේ සතියේම භාරදෙන බව නීතිපතිතුමාට මෙහිදී සදහන් කරන්න ඕන. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවන බව විශේෂයෙන් සදහන් කළයුතුයි.
මේ බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද කොමිසම ප‍්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත්කර තිබෙනවා. එම කරුණු කි‍්‍රයාත්මක කිරීම රජයේ වගකීමක් වන අතර, ඔබට දැන ගැනීම සදහා මම පැහැදිළි කරනවා.
දූෂණ, වංචා අක‍්‍රමිකතා පිළිබද විමර්ෂණ කටයුතුවලට සුදුසු පූර්ණ දැනුමක් හා පුහුණුවක් ඇති නිලධාරින්ගෙන් අපේ රටට විශාල හි`ගයක් තිබෙන නිසා ඒ සදහා අවශ්‍ය පුහුණුව ලබා දී සුදුසු නිලධාරින් ඒ ස`දහා පත්කළයුතු බව මෙහි පෙන්වා දී තිබෙනවා.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලු විශේෂ තනතුරුවලට පත්කිරීමේදී ඒ සදහා නියමිත සුදුසුකම් නොමැති අය පත්කර ඇති බවත්, එබැවින් එම ආයතනවල ප‍්‍රධානීන්, සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේ දී එම තනතුරට සුදුසු අය පමණක් පත්කළයුතු බව ද එම කොමිෂන් සභාව ඉතා තරයේ ප‍්‍රකාශ කර තිබෙනවා.
එම කොමිසමට රජය වැය කළ මුදලට වැඩි මුදලක් එම කොමිසම විසින් මේ වන විට රජයට සොයා දී තිබෙන බව කොමිසම දන්වා තිබෙනවා. අල්ලස් නඩු පැවරීම කොළඹ මහාධිකරණය තුළ පමණක් සිදු කිරීම මගින් ලැබෙන ප‍්‍රතිඵල අඩු බවත්, එයින් විශේෂයෙන් සාක්ෂිකරුවන්ට වැනි අයට දිවයිනේ ඈත එපිට ප‍්‍රදේශවල සිට කොළඹට නිතර මෙම කටයුතු සදහා පැමිණිමට තිබෙන අපහසුතාව සැලකිල්ලට ගෙන අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව යටතේ නඩු දැනට කොළඹ පමණක් ඇසීම වෙනුවට අවම වශයෙන් පළාත්බද අධිකරණ කි‍්‍රයාවලියක් තුළ කි‍්‍රයාත්මක කළයුතු බව මෙම කොමිසම දන්වා තිබෙනවා.
එමෙන්ම මෙම වාර්තා දෙකේම කරුණු අවසන් කිරීමට පෙර මා තවත් විශේෂ යමක් සදහන් කළ යුතුයි. මෙම කොමිසන් සභා පත්කිරීම සම්බන්ධයෙන් සමාජය සහ පොදු මහජනතාව දැඩි උනන්දුවක් ඒ වගේම දැඩි ඕනෑකමක්, අවධානයක් යොමු කරන බව පෙන්නුම් කළා. මේ කොමිසන් සභාව පත්කිරීම විශේෂයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් එය පත්කරන අවස්ථාවේත් ඇතැම් අය කිව්වා මීට පෙර පත්කළ කොමිසම්වලට වූ දේ තමයි මෙයටත් සිදුවන්නේ කියා. කොමිසමක් පත් කරන්නේ ප‍්‍රශ්න යටගහන්න බව මාධ්‍ය තුළත් ඇතැම් අය පාර්ලිමේන්තුවේදීත් සදහන් කර තිබෙනවා.
නමුත් මේ කොමිසන්වල කටයුතු පිළිබදව එහි කි‍්‍රයාකාරිත්ව පිළිබදව අපි ඉතාමත් සතුටු විය යුතුයි වගේම විනිශ්චයකාරතුමන්ලා ඇතුථ ඒ සෑම කෙනෙකුටම නැවත නැවතත් මම ස්තුතිවන්ත වෙනවා මහජනයාගේ විශ්වාසය දිනාගනිමින් මෙම කොමිසන් සභාවලට කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්.
තවත් යමක් මා අවසාන වශයෙන් කිවයුතුයි, මේ කොමිසන් සභා පත්කිරීම තුළ ඇතැම් දේශපාලන අංශවලින් මට එල්ල කරන ලද චෝදනා පිළිබ`දවත්. කිසියම් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන මෙම කොමිසන් සභා මා විසින් පත් නොකළ අතර මම සදහන් කළ කොමිසන් සභා දෙකේම පරීක්ෂණ කටයුතු , නිර්දේශ හා එම තොරතුරු මත ඉදිරියේදී කි‍්‍රයාකිරීමේදී නීතිමය කි‍්‍රයාමාර්ගවලදී හා නඩු පැවරීමේදී ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම පුද්ගලයින් වගඋත්තරකරුවන් බවට පත්වී තිබෙන බව විශේෂයෙන් සදහන් කළ යුතුයි.
එම නිසා කිසියම් එක් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන කටයුතු නොකරනවා වගේම අධිකරණයේත් කොමිසන් සභාවල අපක්ෂපාතිත්වය සහ ස්වාධීනත්වය පිළිබද අප සතුටුවිය යුතු වෙනවා. මේ සදහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය මේ කටයුතු සදහා ලබාදෙන බව ප‍්‍රකාශ කරන්න ඕන.
සියලූදෙනාටම ස්තූතියි.
ජනාධිපති මාධ්‍ය අංශය
2018-01-03